වසර 78ක් පුරා පිරිමි නිලධාරීන්ගේ ආධිපත්‍යයට නතුව තිබූ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා පළමු වරට කාන්තාවක් පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වත්මන් ලේකම් අරුණි රණරාජා අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස නම් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.
1948 වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹි දා සිට මේ දක්වා අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය හොබවා ඇත්තේ පිරිමි පාර්ශ්වය පමණි. මීට පෙර චිත්‍රාංගනී වාගීස්වර සහ ක්ෂෙනුකා සෙනෙවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියන් නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිතවරියන් ලෙස කටයුතු කර තිබුණද, වොෂින්ටන් තානාපති කාර්යාලයේ මුල් පුටුවට කාන්තාවක් පත්වන ඓතිහාසික පළමු අවස්ථාව මෙයයි. අමෙරිකානු රජයේ නිල එකඟතාව සහ පාර්ලිමේන්තු උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබීමෙන් පසු ඇය සිය ධුරයේ රාජකාරි ආරම්භ කරනු ඇත.
දශක ගණනාවක ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් සපිරි ශ්‍රී ලංකා විදේශ සේවයේ (SLFS) ජ්‍යෙෂ්ඨතම වෘත්තීය නිලධාරිනියක වන අරුණි රණරාජා, මීට පෙර නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත්, රසායනික අවි තහනම් කිරීමේ සංවිධානයේ (OPCW) නිත්‍ය නියෝජිතවරිය ලෙසත් කටයුතු කර තිබේ.
දේශපාලන හිතවත්කම් වෙනුවට සුදුසුකම් සහ පළපුරුද්දට පමණක් මුල් තැන දෙමින්, චීනය ඇතුළු අනෙකුත් ප්‍රධාන රටවල පුරප්පාඩු වී ඇති තානාපති ධුර සඳහා ද කඩිනමින් වෘත්තිකයන් පත් කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා එහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ ඇඟලුම් ඇතුළු අපනයන භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නා ප්‍රධානතම වෙළෙඳපොළ අමෙරිකාව වන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ කෙරෙන ඉදිරි ගනුදෙනු සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී වොෂින්ටන් තානාපති ධුරයට පැවරෙන්නේ තීරණාත්මක කාර්යභාරයකි. එබැවින් රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්රයේ ඉහළම පරිචයක් ඇති පළපුරුදු නිලධාරිනියක මෙම වගකීම සඳහා තෝරා ගැනීම, මෙරට ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයෝ පෙන්වා දෙති.




