ඔබ ඉවත දමන පරණ ඇඟළුමක් හෝ රෙදි කඩමාල්ලක් නිවසින් බැහැර කළ පමණින් එසේත් නැතිනම් කසළ එක්කාසු කරන්නන් විසින් රැගෙන ගිය පමණින් ඔබට එයින් නිදහස් වූ බව සිතෙන්නට පුළුවන්.
නමුත්, අප හිසින් නිදහස් කර ජීවත් වන පරිසරයට, රටේ ආර්ථිකයට පටවන මේ බර, කුඩා රෙදි කැබැල්ලකින් ආරම්භව ක්‍රමයෙන් ගොඩනැගෙන රෙදි කසල කඳු, නියෝජනය කරන්නේ තවදුරටත් නොසලකා හළ නොහැකි ඔඩුදුවමින් පවතින ගැටලුවකි. එය හුදෙක් අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවක් ලෙසට ලඝු කළ නොහැකි අතර එය රටක පාරිසරික තිරසරභාවය, සම්පත් භාවිතය මෙන්ම නිෂ්පාදන පද්ධතියේ වගකීම පිළිබඳව ද මතුකරන්නේ ප්‍රශ්නාර්ථයකි.
අද වනවිට ලෝකය හරිත සංක්‍රාන්තියක් වෙත ක්‍රමයෙන් ගමන් කරමින් සිටියි. ඉන් අදහස් වන්නේ ස්වභාවික සම්පත් ආරක්ෂා කරන අතර පරිසරයට සිදුවන හානිය අවම කරමින් තිරසර ආර්ථික හා සමාජීය සංවර්ධනයක් සඳහා වත්මන් ජීවන රටාවන් පරිසර හිතකාමී ක්‍රමවේද වෙත ක්‍රමානුකූලව පරිවර්තනය කිරීමයි. එහෙත් එවැනි පරිවර්තනයක් සඳහා ඇඟලුම් අපද්‍රව්‍ය ද විශේෂ අවධානයට ලක්විය යුතුය.
කරදියානේ 7.68%ක් රෙදි කසළ

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවත්වාගෙන යනු ලබන කරදියාන මිහිසරු සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය 2025 දී කළ අධ්‍යනයකට අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ඝන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් වන පිළියන්දල කරදියාන කසල අංගනයට යොමු කෙරෙන අපද්‍රව්‍යවලින් 7.68%ක ප්‍රමාණයක් රෙදි පිළි කසළ වේ.

කරදියාන කසල අංගනය
මෙරට කසළ අංගනවලට බැහැර කෙරෙන බවට වාර්තා වී ඇති පාරිභෝගික භාවිතයෙන් පසු ඉවතලන ප්‍රමාණයට වඩා “සැලකිය යුතු මට්ටමකින් වැඩි” ප්‍රමාණයක් රෙදි කසළ එම ස්ථානයන්හි දක්නට ලැබෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් දෙදෙනෙක් ඉන්දීය ආචාර්ය පම්මි සිංහා සමඟ 2021 දී පළකළ පර්යේෂණ වාර්තාවක දැක්වේ. එසේම, සංවර්ධිත රටවල පරිභෝජන හා බැහැර කිරීමේ හැසිරීම් රටාවන්ට සමාන හැසිරීම් රටාවන් මෙරට තුළ ද දක්නට ලැබෙන බවත්, එම අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණ නොමැති පසුබිමක මෙම තත්ත්වය විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම ද පවසා සිටියේ මේ වනවිට කරදියාන කසළ අංගනයට බැහැර කෙරෙන රෙදි ආශ්රිත කසළවල තරමක වැඩිවීමක් දක්නට ලැබෙන බව යි.
“අපේ කසළ ප්රවාහයේ රෙදි පිළි කසල ප්‍රමාණය ඉස්සරට වඩා දැන් පොඩ්ඩක් කැපිලා පේනවා. හැබැයි ලොකු නෙවෙයි පොඩ් ප්‍රමාණයක්. මොකද දැනට ගොඩක් අය රෙදිපිළි එලියට දාන්නේ නැහැ නැවත භාවිත කරනවා. හැබැයි අපි දන්නවා සෑම නිවසකම වගේ සැලකිය යුතු ප්‍රමාණයක් පාවිච්චි කරපු රෙදි කියන දේ තියනවා.”
ලාංකිකයන් ලෙස සංස්කෘතියෙන් උරුම වූ ඇතැම් ඇවතුම් පැවතුම් නිසා, රෙදිපිළි කිසිසේත් අහක නොදමන බවටත් අත පිස දැමීමට හෝ ඒවා ගන්නා බවටත් කෙනෙකුට තර්ක කිරීමට පුළුවන්. නමුත් අප සමඟ අදහස් බෙදාගත් මිහිසරු කසළ මධ්‍යස්ථානයේ කසළ වෙන්කරන සේවකයන්ට අනුව එය යථාර්ථයෙන් පළාගිය, කල්පැනගිය මතයක් පමණකි. ඉල්ලීම අනුව අපි ඔවුන්ගේ නම් සඳහන් නොකර සිටිමු.
“ඉඳුල් එක්ක රෙදි කෑලි එන වෙලාවල් තියෙනවා. මහලොකු ඒවා නෙවෙයි පොඩි ඒවා. ප්ලාස්ටික් අස්සේ හොරෙන් ගහලා රෙදි එවනවා. ඩම්ප් එකට ගියාම හැම තැනම රෙදි. ගාමන්ට්වලින් එන රෙදි පටි වගේ සමහර ඒවා වෙන් කරලා ගන්න පුළුවන්. සමහර ඒවා එහෙම ගන්න බෑ. මිනිස්සු රෙදි විසික්කා කරන්නේ නැත්තන් ඩම්ප් එකේ කොහෙන්ද රෙදි?”
එසේම, ඔවුන් පැවසුවේ කරදියානේ රෙදි කසළ ආදායමක් කරගත් පිරිසක් ද සිටින බවයි. ශ්‍රී ලංකා රේගුව බැහැර කිරීමෙන් පසු කරදියානට ගෙනඑන රෙදි සෝදා විකුණන පිරිස් ද ඒ අතර සිටින බව අපට දැනගන්නට ලැබුණි. එලෙස රෙදි එකතුකරන්නෙකු සම්බන්ධ කරගැනීමට උත්සහ කළ ද ඔහු පිළිතුරු දීමට අකමැති වූ නිසා එය අසාර්ථක විය.
රෙදි කසළ ගැටළුවක් ද?
ඒ අනුව, කොළඹට තදාසන්න නාගරික ප්‍රදේශවල ජීවත්වන ජනතාව රෙදි අපද්‍රව්‍ය බැහැර කිරීම ප්‍රධාන ගැටළුවක් ලෙස සලකන්නේදැයි සොයා බැලීමට අපි සමාජ මාධ්‍ය ඔස්සේ අධ්‍යනයක් සිදු කළෙමු.

නිරවද්‍ය තොරතුරු ලබාගැනීමේ අරමුණින් නිර්නාමික ගිණුමකින් අගති විරහිතව ෆේස්බුක් සමාජ මාධ්‍යයේ අප පළ කළ පෝස්ටුවට අපේක්ෂා නොකළ මට්ටමේ විශාල ප්‍රතිචාරයක් ලැබුණු අතර කොළඹින් බැහැර ප්‍රදේශවල පිරිස් පවා එහි අදහස් බෙදාගෙන තිබුණි. ඉන් බහුතරයක් වන 187 දෙනකු කියා සිටියේ ඉවතලන ඇඳුම් ආදියට කිසිවක් කරකියාගත නොහැකිව සිටින බවයි.

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ කළ පෝස්ටුව
ඉවතලන ඇඟලුම් භාවිතයෙන් නිර්මාණ කර ආදායම් උපයා ගන්නා කිහිප දෙනකු ද ඒ අතර නැතුවාම නොවෙයි. ජාතික පරිසර ප්‍රතිපත්තියේ එන පරිභෝජනය හා නිෂ්පාදන සන්දර්භය තුළ අවම කිරීම, නැවත භාවිත කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය යන 3R සංකල්පයට නොදැනුවත්වම හෝ දායක වෙමින් ඔවුන් සිය ජීවිකාව ගැටගසාගෙන යාමට සමත්ව තිබුණි.

මධුරි ප්‍රනාන්දු
මධුරි ප්‍රනාන්දු ඒ අතරින් විශේෂිත වේ. ශ්‍රව්‍යාබාධිත ඇය ඉවතලන රෙදිවලින් කොන්ඩකටු, ගමන්මළු, විසිතුරු භාණ්ඩ ආදිය නිර්මාණය කරන්නී ය. රෙදි අපතේ යැවීම අපරාධයක් ලෙස සලකන මධුරි විවිධ නිර්මාණ කරන ආකාරය ගැන සොයා බලා තමන්ගේ ද අදහස් ඊට එක්කාසු කර නිමවුම් කිරීමට මහත් කැමැත්තක් දක්වන්නී ය.
පිළියන්දල ප්‍රදේශයේ වෙසෙන එම්. චන්ද්‍රා ආබාධිත දරුවෙක් ද සිටින සිය පවුල නඩත්තු කරන්නේ ඉවතලන රෙදි කැබලි ආදියෙන් නිර්මාණය කරන පාපිසි විකිණීමෙනි. ඇය ඒවා සලකන්නේ හුදෙක් කසල ලෙස නොව සිය ජීවිතය රැකගැනීමට අත්වැල සපයන්නක් ලෙසය.
කෙසේ වෙතත්, මේ අතර රෙදි කසළ පිළිස්සීම මෙන්ම ඒවා විසි කිරීමට පෙළඹෙන පිරිසක් ද සිටින බව ප්‍රතිචාර පිරික්සීමේ දී අපට අවබෝධ විය. එසේම, පුණ්‍යාධාර, සහන සේවා වෙනුවෙන් රෙදි එකතු කර දුර පළාත්වල දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් වෙත ඒවා බෙදා හරින පුද්ගලයන් ද මේ අතර විය.

ඉතුරු රෙදි කැබලි ගෙවත්තේ පුළුස්සන අයුරු
දේශීය වෙළඳපොළට ඇඟලුම් සපයන මහරගම කර්මාන්තශාලාවක කළමනාකරුවෙක් පැවසුවේ ඇඟලුම් නිෂ්පාදනයේ දී ජනනය වන කුඩුවල පටන් විවිධ පරාසයන්ගේ රෙදි අපද්‍රව්‍ය විකුණන බවත් විටෙක නගර සභා ට්‍රැක්ටරයට ද ඒවා ලබාදෙන බවත් ය. එමෙන්ම, තම නිවසේම තොග වශයෙන් ඇඳුම් මහන පිළියන්දල නගරයෙන් පිට පදිංචි කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඉතුරු රෙදි කැබලි සිය ගෙවත්තේ පුළුස්සන බව පැවසූහ.
වගකීම කාගේ ද?

කරදියාන අංගනයට කසළ රැගෙන එන රථ
භාවිතයේ ඇති කසළ වර්ගීකරණයන්ට අනුව ඝන අපද්‍රව්‍ය කාණ්ඩයට අයත් වන නිවෙස්වලින් බැහැර කෙරෙන රෙදි අපද්‍රව්‍ය එකතු කිරීම සහ ප්‍රවාහනයේ නෛතික වගකීම නගර සභා ආඥාපනත (255 වන අධිකාරය), මහ නගර සභා ආඥාපනත (252 වන අධිකාරය) සහ 1987 අංක 15 ප්‍රාදේශීය සභා යන පනත් යටතේ දරනු ලබන්නේ පළාත් පාලන ආයතනයි.
මෙම රෙදි චක්‍රීය ආර්ථික සංකල්පයට අනුව, සම්පත් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ඇති නමුත් එය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක වන්නේද යන්න ගැටළු සහගත ය. ඒ අනුව, කරදියාන අංගනයට කසල යොමු කරන පළාත් පාලන ආයතන හත වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව, දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව, මොරටුව මහ නගර සභාව, කැස්බෑව නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව, හෝමාගම ප්‍රාදේශීය සභාව සහ මහරගම නගර සභාවේ රෙදි කසල කළමනාකරණ සැලසුම් ගැන විමසීමක් සිදු කළෙමු. එහිදී අපට දැනගැනීමට ලැබුණේ සමහර ආයතන ඒවා බාරගන්නා නමුත් ඊටම වෙන්වූ කළමනාකරණ වැඩ පිළිවෙලක් නොමැති බවයි. විශේෂයෙන්ම කැස්බෑව නගර සභාව හැරෙන්නට සෙසු පළාත් පාලන ආයතන සතුව සංඛ්‍යා ලේඛන පවා නොමැති බව අනාවරණය විය.

කසළ ප්‍රවාහනය කරන රථයක්
තොරතුරු විමසා අපි යොමු කළ ඉල්ලීමට පිළිතුරු වශයෙන් දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාව රෙදි පිළි කසළ කළමනාකරණය සිදු නොකරන බව අප වෙත දන්වා තිබුණි. මොරටුව මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂක නදීන් ජයතිලක අප සමඟ කියා සිටියේ කසළ ප්‍රවාහන රථ රෙදි අපද්‍රව්‍ය බාර ගැනීම ඉරිදා දිනවල දී සිදු කරන බවයි.
” රෙදි කෑලි අපිට ගාමන්ට් වලින් විශාල ප්‍රමාණයක් හම්බවෙනවා. කට්පිසස්, ඊට අමතරව ගෙවල් වලින් දෙන ඒවත් තියනවා. වාහනයට ගන්නකොට ඒවා අපි බලලා තමයි ගන්නේ. ඒ ඔක්කොම ඉන්සී ආයතනයට (පුත්තලම පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාව) දෙනවා. දහන පෝෂකයක් විදියට ගන්න. ඉරිදාට ලොකු කන්ටේනර් පෙට්ටි දෙකක් ගෙනියනවා ඇඳුම් රෙදි මෙට්ට වාගේ දේවල්. ඒ තරම් රෙදි තියෙනවා.”
හෝමාගම ප්‍රාදේශීය සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරී ලලිත් නානායක්කාර ප්‍රකාශ කළේ රෙදි ඇතුළු නොදිරන අපද්‍රව්‍ය සති දෙකකට වරක් එක්කාසු කරන බවත් ඒවා පුත්තලම පිහිටි ඉන්සී සිමෙන්ති කර්මාන්තශාලාවට යොමු කරන බවත් ය.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව සහ බොරලැස්ගමුව නගර සභාවෙන් තොරතුරු ඉල්ලීමක් සිදු කළ ද ලිපිය පළ වන අවස්ථාව විටත් ඊට පිළිතුරු ලැබී නොතිබුණි.
කෙසේ වෙතත්, කරදියාන කසල අංගනයේ මෙම වසරේ ඔක්තෝබර් මස කසල එකතුවේ ගණනය කිරීම් අනුව දළ වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව මෙට්‍රික් ටොන් 28ක්, කැස්බෑව නගර සභාව මෙට්‍රික් ටොන් 48ක්, බොරලැස්ගමුව නගර සභාව මෙට්‍රික් ටොන් 20ක්, මහරගම නගර සභාව මෙට්‍රික් ටොන් 10ක් රෙදි ආශ්රිත කසළ එම අංගනයට බැහැර කර ඇති බවයි අපට දක්නට ලැබුණේ.

රෙදි කසළ සම්බන්ධයෙන් මහරගම නගර සභාවෙන් අප වෙත එවූ තොරතුරු ඉල්ලීමට පිළිතුරු ලිපියේ සෑම ප්‍රශ්නයකටම ප්‍රතිචාරය වූයේ “නැත” යන්නයි. මෙහිදී කරදියාන කසළ අංගනයේ ගණනය කිරීම් සහ මහරගම නගර සභාව අප වෙත ලබාදුන් පිළිතුරු අතර පරස්පරභාවය, කසල ගැන වගකිව යුතු ආයතනයක් ලෙස මහරගම නගර සභාව ඒ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත්කමේ තරම පෙන්වයි.
කසළ බැහැර කිරීමේ අවිධිමත් ස්වභාවය නිසා මුහුණ දීමට සිදුවන අපහසුතා ගැන සිය නම සඳහන් කිරීමට අකමැති වූ කෝට්ටේ මහ නගර සභාවේ කසළ එකතු කරන සේවකයෙක් අප සමඟ මෙලෙස අදහස් පළ කර සිටියේ ය.
“මිනිස්සු හදන්න බැහැ. රෙදි එහෙම හංගලා දානවා කුණු අස්සට. ඒවත් අපි අරන් එනවා. මහපාරේ බලන්නකෝ ගිහිල්ලා ඉඳුල්වල වීදුරු, පෝසිලේන් කෝප්ප තෝරන්න ගියාම අපි මැරෙනවා බාගෙට. කලවම් කරලා දානවා වැඩක් නෑ. ඇඳුම් එහෙමත් දානවා. ගේන්නේ නැතුව බැහැනේ ඉතින්.”
ප්‍රමාණවත් දත්ත නැහැ

විලාසිතා සහ රෙදිපිළි කර්මාන්තය සැලකෙන්නේ ලොව වැඩිම අපද්‍රව්‍ය ජනනය කරන කර්මාන්ත අතරින් එකක් ලෙසයි.
2024 දී යුරෝපා සංගමය තුළ රෙදිපිළි අපද්‍රව්‍ය ටොන් මිලියන 2.3ක් ජනනය වී ඇති බව එම සංගමය විසින් ඉකුත් නොවැම්බර් 12 වැනිදා නිකුත් කළ නවතම වාර්තාවක ද සඳහන් විය. මෙම ප්‍රමාණයෙන් අඩකට වඩා වැඩියෙන් ගෘහාශ්‍රිත බැහැර කිරීම් බව යි එහි සඳහන් වන්නේ.
කණගාටුවට කරුණක් වන්නේ ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිතව හෝ කුඩා පරිමාන ඇඟලුම් කම්හල් ඇසුරින් රට තුළ ජනනය වන රෙදි අපද්‍රව්‍ය ප්‍රමාණය තවමත් ගණනය කරගැනීමට නොහැකිවී තිබීමයි. යුරෝපා සංගමයේ සහය ඇතිව පරිසර අමාත්‍යංශයේ යටතේ සංවර්ධනය කළ 2019 තිරසාර පරිභෝජනය සහ නිෂ්පාදනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුව නිවාරණය, අවම කිරීම, ප්‍රතිචක්‍රීකරණය, නැවත භාවිතය තුළින් 2030 වනවිට අපද්‍රව්‍ය උත්පාදනය සැලකිය යුතු ලෙස අඩු කිරීම අපගේ ඉලක්කය වන නමුත් අදාළ දත්ත නොමැතිව එය සිදු කිරීමට ප්‍රමාණවත් දායකත්වයක් ලබාදිය හැකිදැයි ගැටළු සහගත ය.

මහාචාර්ය තිලක් හේවාවසම්
රෙදි කසළ ආශ්‍රිතව ප්‍රමාණවත් දත්තවල හිඟකමක් ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ වත්මන් සභාපති මහාචාර්ය තිලක් හේවාවසම් පවසයි. “රෙදි අපද්‍රව්‍ය සම්බන්ධයෙන් අපි හරියටම චක්‍රීය ආර්ථිකය පැත්තට තමයි යැවෙන්නේ. අපි දකින ප්‍රධාන අභියෝගය… කොච්චර ප්‍රමාණයක් අපද්‍රව්‍ය ජනනය වෙනවද කියන එක. සංඛ්‍යාලේඛනවල අඩුපාඩුවක් තියෙනවා. මොකද ඒ පැත්තට අපි තාම යොමුවෙලා නැහැ. අපි ඒ පැත්තට යොමු විය යුතුයි මම දකින විදිහයට.”
මීට අදාලව දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා රජයට වුවමනාව ඇති බවත්, ඒ සම්බන්ධව ඉදිරියේ දී කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි කියා සිටියේ ය. පළමුව ජාතික මට්ටමේ සමීක්ෂණයක් පවත්වන්න බවත් දෙවනුව වර්ගීකරණයක් හඳුන්වාදෙන බවත්, අනතුරුව දත්ත පද්ධතියක් නිර්මාණයට අවශ්‍ය මැදිහත්වීම් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
නීතියේ සහ ක්‍රියාත්මක කිරීමේ හිඩැස
ඒ අනුව රෙදි පිළි කසළ සම්බන්ධයෙන් වත්මන් නීතිමය තත්වය ගැන කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පාරිසරික නීතිය හා ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ආරම්භක අධ්යක්ෂ මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ ගෙන් අපි විමසුවෙමු.

මහාචාර්ය කෝකිලා ලංකාතිලක කෝනසිංහ
“මෙහිදී අපට නීතියක් නැහැ කියලා කියන්න බැහැ. නමුත් පවතින නීති මගින් රෙදි අපද්‍රව්‍ය ජනනය වන තැන සිට අවසානයේ ඒවාට සිදුවන දේ දක්වා පැහැදිලි, ක්‍රියාත්මක කළ හැකි පද්ධතියක් ඇති කර තිබෙනවාද කියන ප්රශ්නය අප ඇසිය යුතුයි. නව නීතියක් අවශ්‍යද කියලා තීරණය කරන්න කලින්, නීතියේ හිඩැස සහ ක්‍රියාත්මක කිරීමේ හිඩැස වෙන් කර හඳුනාගන්න ඕනෑ.”
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය විසින් අපද්‍රව්‍ය අවම කිරීම, සම්පත් නැවත භාවිතය සහ විස්තීරණ නිෂ්පාදන වගකීම පිළිගන්න නමුත් ප්රතිපත්තියක අරමුණක් තිබීම සහ පුද්ගලයන්ට බලාත්මක කළ හැකි නිශ්චිත වගකීමක් පැවතීම එකම දෙයක් නොවෙන බවයි මහාචාර්යවරිය පවසන්නේ.
ඇඟලුම් නිෂ්පාදන සඳහා විස්තීරණ නිෂ්පාදන වගකීමක්
යුරෝපා සංගමය රෙදිපිළි අපද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා අවධානය යොමු කර ඇත්තේ නිෂ්පාදනය, පරිභෝජනය, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය සහ අවසාන බැහැර කිරීම යන සමස්ත ජීවන චක්‍රයම නියාමනය කිරීමෙනි. විශේෂයෙන්ම 2025 වසරේ සංශෝධිත අපද්‍රව්‍ය පිළිබඳ නීති විධානය මඟින් රෙදිපිළි නිෂ්පාදකයන්ගේ වගකීම පුළුල් කරමින්, භාවිතයෙන් පසු ඉවතලන දේ කළමනාකරණය සඳහා ද ඔවුන්ගේ මූල්‍ය දායකත්වය අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.
ගෝලීය තත්වය අනුව යමින්, මෙරට 2026 අංක 15 දරන ජාතික පරිසර නව (සංශෝධන) පනත මගින් විස්තීරණ නිෂ්පාදන වගකීම (EPR) පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි
ඒ අනුව, විස්තීරණ නිෂ්පාදන වගකීමට අදාළ නීති හා රෙගුලාසි පළමුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ විද්‍යුත් අපද්‍රව්‍ය සඳහා සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බවත් අනතුරුව රෙදිපිළි ක්ෂේත්රයට අවශ්‍ය කරන නීති රෙගුලාසි හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි අප සමඟ ප්‍රකාශ කර සිටියේ ය.
“රෙදිපිළි තවමත් ලොකු ගැටළුවක් නොවන නිසා අර තරම් ප්‍රමුඛතාව දීලා නැහැ. අපි ප්ලාස්ටික් වලට නීති බොහෝදුරට හදලා ඉවරයි. ඒක ගැසට් කරන්න කලින් සාකච්ඡා කරලා කරන්න ඕන. සමහරවෙලාවට ගැසට් කලාට පස්සෙත් ආපහු මේක ප්‍රයෝගිකව කරගෙන යද්දී එන දේවල් තියෙනවනේ. ඒ අනුවත් පොඩි පොඩි වෙනස්කම් කරන්න වෙයි. අපි ඒකටත් ඉඩ තියාගෙනම තමයි ඉන්නේ.”
කෙසේ වෙතත්, මහාචාර්ය කෝකිලා ලංකාතිලක පවසන්නේ EPR ක්‍රමය මුදල් එකතු කරන අරමුදලක් බවට පමණක් පත්වුණොත් එහි අරමුණ අහිමි වන බවත් එය නිෂ්පාදන සැලසුම සහ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනස් කරන යාන්ත්‍රණයක් විය යුතු බවත් ය.
යුරෝපා සංගමයට සහ ඇමරිකා එක්සත් ජනපදයට ඇගලුම් අපනයනය කරන මහා පරිමාණ කර්මාන්තශාලා මේ වනවිටත්, නිෂ්පාදනයේ දී සිදුවන පාරිසරික බලපෑම ගණනය කිරීම වැනි ගැනුම්කරු අවශ්‍යතාවලට හැඩගැසී ඇති බැවින්, ඉදිරියේදී මෙරට තුළ පැනවීමට නියමිත විස්තීරණ නිෂ්පාදන වගකීම් සම්බන්ධ නීතිමය තත්වය හමුවේ ගැටළුවකට ලක්නොවෙන බව රත්මලාන ප්‍රදේශයේ පිහිටි මහා පරිමාණ ඇඟලුම් කම්හලක අනුකූලතා අංශයේ කළමනාකරුවෙක් පැවසුවේ ය.
“2023 අන්තිම 2024 මුල ඉඳන් අපි අපද්‍රව්‍ය, ජලය, අපජලය, බලශක්තිය ගණනය කරනවා. එතනින් එහාට අපේ පාරිසරික බලපෑම හරියටම ගණනය කරලා සන්නාමවලට දෙන්න ඕන. යුරෝපා නීති නිසා එයාලගේ පාරිසරික බලපෑම හරියටම ගණනය කරන්න අපේ දත්ත අනිවාර්යෙන් එයාලා ගන්නවා. EPR මෙහෙ නීතිගත කරන එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි”

ලොනාලි රොද්‍රිගෝ
EPR වැනි නීතිරීති හඳුන්වාදීම අත්‍යවශ්‍ය දෙයක් බවත් රටක් ලෙස අප ඒ සඳහා දැනටමත් ප්‍රමාද බවත් ඇඟලුම් නිර්මාණ ශිලිපිනියක සහ ව්‍යවසායිකාවක් වන ලොනාලි රොද්‍රිගෝ පවසන්නී ය. අගය එකතු කර නැවත නිර්මාණය කිරීම (Upcycling) සම්බන්ධයෙන් ප්රමුඛ සන්නාමයක් වන ලොනාලි හි නිර්මාතෘවරිය වන ඇය ඇඟලුම් අපද්‍රව්‍ය යොදාගනිමින් නිර්මාණකරණයේ නියැලෙන අතර සිය සන්නාමය යටතේ ග්‍රාමීය කතුන් බලගැන්වීම පිණිස ද කටයුතු කරන්නී ය.
එසේම, යුරෝපා සංගමයේ නව නීතිරීති සම්බන්ධයෙන් ද ඇය අප සමඟ අදහස් දැක්වුවා ය. එහිදී ඇය පවසා සිටියේ වර්ගීකරණයේ දී මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත කෙරෙහි විශේෂ අවධානය යොමු වෙන බැවින් කුඩා ව්‍යාපාරවලට යම්කිසි අසාධාරණයක් විය හැකි බවයි. අගය එකතු කර නැවත නිර්මාණය කිරීම යුරෝපා නීති මඟින් ආවරණය නොවන බවත් ඒ කෙරෙහි ද අවධානය යොමු විය යුතු බවත් ලොනාලි වැඩිදුරටත් පැවසුවා ය.
ඒ අනුව, කුඩා පරිමාණ ඇඟලුම් ව්‍යාපාරවලට අසමාන බරක් නොපටවා මෙරට රෙගුලාසි සැලසුම් කිරීම ගැන විමසීමේ දී මහාචාර්ය කෝකිලා ලංකාතිලක අප සමඟ පැවසුවේ සාධාරණ නියාමනය යනු සියලු දෙනාට එකම ගාස්තුව සහ එකම ලේඛන ප්‍රමාණය පැවතීම නොවන බවත් පාරිසරික හානිය, ව්‍යාපාරයේ ප්‍රමාණය සහ එයට ඇති තීරණ ගැනීමේ හැකියාවට ගැළපෙන වගකීමක් පැවතීම බවත් ය. කුඩා ව්‍යාපාරවලට නීතියට අනුකූල විය හැකි මාර්ගයක් අප සකස් කළ යුතු බව ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නා ය.
කරදියාන රෙදි කසළ බිංදුවට – මොරටුව විශ්ව විද්‍යාලයෙන් විසඳුමක්
පාරිභෝගික භාවිතයෙන් පසු ඉවතලන රෙදිපිළි සම්බන්ධයෙන් තිරසාර විසඳුමක් සෙවීමේ අරමුණින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් දත්ත රැස් කිරීමේ නිරතව සිටින බව අප කළ සොයා බැලීමක දී දැනගන්නට ලැබුණි. ඊට මගපෙන්වීම සිදු කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රබෝද් දර්ශන මුණසිංහ යි..

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රබෝද් දර්ශන මුණසිංහ
ඒ අනුව, කරදියාන කසළ මධ්‍යස්ථානය සහ කැස්බෑව නගර සභාව සමඟ එක්ව ගත් මෙම ආරම්භය නව ක්ෂුද්‍ර මට්ටමේ ව්‍යාපාරික අවස්ථා ජනනය කිරීම සඳහා පිටුවහලක් වනු ඇතැයි ආචාර්ය ප්‍රබෝද් අප සමඟ වැඩිදුරටත් කියා සිටියේ ය.
“රෙදි අපද්‍රව්‍ය 7% කියන්නේ ලොකු ප්‍රමාණයක්. අපි අවධානය යොමු කළ යුතු දෙයක්. කුණු කන්දට ගියාම රෙදි හොඳටම පේනවා. ඔය සාධකය මත පදනම් වෙලා තමයි අපි කරදියානට අවධානය යොමු කළේ. එකක් මොරටුව විශ්ව විද්‍යාලය විදියට අපිට ලොකු සමාජමය වගකීමක් තියනවා බොල්ගොඩ ගඟ එක්ක බැඳුනු පරිසර පද්ධතිය එක රැකගන්න. අපි පිහිටුවාගෙන තියෙන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධාන අරමුණ කසල කන්දේ රෙදි ගැටලුවට විසඳුමක් හොයන එක,” යනුවෙන් ඔහු පැවසුවේ ය.

මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුන්
කරදියාන කසළ අංගනයට බැහැර කෙරෙන රෙදි පිළි අපද්‍රව්‍ය අඩු කිරීම නොව නැත්තටම නැති කිරීම සිය ප්‍රධාන අරමුණ බව ආචාර්ය ප්‍රබෝද් දර්ශන මුණසිංහ අප සමඟ කියා සිටියේ ය.
“රෙදි වර්ග දෙකක් එනවා කුණුගොඩට එකක් තමයි පාරිභෝගිකයාට නිෂ්පාදනය නිකුත් කරන්න කලින් ජනනය වන අපද්‍රව්‍ය. දෙවැනි එක පාරිභෝගික භාවිතයෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය. 7% ලබාදෙන නගර සභා කිහිපයෙන් අපට බලපෑම තියෙන ආසන්නම කැස්බෑව නගර සභාව තෝරාගත්තා අධ්‍යනයට. මුලින්ම උපකල්පනය තිබුණේ මිනිස්සු රෙදි විසි කරන්නේ නැහැ කියන එක. එහෙමනම් කරදියානට කසළ එන්න විදියක් නැහැනේ. මිනිස්සු රෙදි විසි කරනවා. ඉස්සර වගේ නෙවෙයි.”
එසේම, ඇඟලුම් කර්මාන්තයේ මේ වනවිට 8000කට වඩා රසායනික ද්‍රව්‍ය භාවිත වන බවත් ඉන් බහුතරයක් පිළිකාකාරක බවත් ඔහු අවධාරණය කරයි. ඒ අනුව, ක්ෂුද්‍ර තන්තු සහ රසායනික ද්‍රව්‍ය ජලය සමඟ සේදී පරිසර පද්ධතියට එකතු වීමෙන් කරදියාන කසළ අංගනයේ සිදුවන පරිසර හානිය මැනීමට අපහසු මට්ටමේ, ප්ලාස්ටික්වලින් සිදුවන හානිය පවා ඉක්මවා යන එකක් බවත් ආචාර්ය ප්‍රබෝද් කියා සිටියේ ය.
කැස්බෑව නගර සභාවෙන් සාධනීය වැඩක්

කැස්බෑව නගර සභාවෙන් රෙදි කසළ එකතු කරමින්
කරදියාන කසළ අංගනයට යොමු කරන ටොන් එකක් බර අපද්‍රව්‍ය ප්‍රමාණයකට රුපියල් 7000ක පමණ මුදලක් නගර සභාව විසින් කසළ මධ්‍යස්ථානයට ගෙවිය යුතු ය. ඒ අනුව මසකදී බැහැර කරන රෙදි අපද්‍රව්‍ය සඳහා විශාල මුදලක් ගෙවීමට පළාත් පාලන ආයතනවලට සිදුවේ. ඊට පිලියමක් වශයෙන් නිවෙස්වලින් බැහැර කෙරෙන රෙදි වෙන්කොට එක්කාසු කිරීමෙන් සාධනීය වැඩ පිළිවෙලකට කැස්බෑව නගර සභාව මුල පුරා තිබුණේ ඉකුත් අප්‍රේල් මස ය. එහිදී සමස්තයක් ලෙස රෙදිපිළි ටොන් 13ක් එකතු කරගැනීමට ඔවුන්ට හැකිව තිබුණි.
කසල ඉවත් කිරීමට පළාත් පාලන ආයතන විසින් වැඩ පිළිවෙලක් සකස් නොකර මිනිස්සුන්ට දොස් කියා ඵලක් නැති බව කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ පවසයි.

කැස්බෑව නගර සභාවේ සභාපති චාමර මද්දුමකළුගේ
“පළාත් පාලන ආයතනයක් විදියට ජාතික කර්තව්‍යක් විදියට වැදගත් වැඩකට තමයි අපි අත ගැහුවේ. අපි හඳුනාගත්තා මිනිස්සු පාවිච්චි කරලා ඉවත් කරන ඇඳුම් බැහැර කරන්න අවස්ථාවක් නැහැ කියලා. මිනිස්සු ඇඳුම් ටික ඇඳලා එක්කෝ තමන්ගේ වත්තේ පුච්චනවා, කුණු බෑග් එකටම ඇඳුම් ටික දාලා අර තියෙන පාරිසරික කලාපයක් වුන කරදියානට බැහැර කරනවා. මිනිස්සු හොරෙන් තමයි ඇඳුම් ටික බැහැර කරන්නේ. අපි තීන්දුවක් ගත්තා කැස්බෑව නගර සභාවේ ග්‍රාමසේවා වසම් 55ම සතියක් තුල මිනිස්සු පාවිච්චි කරලා ඉවතලන ඇඳුම් ටික එකතු කරන මධ්‍යාස්ථාන පිහිටුවමු කියල. මොරටුව විශ්ව විද්‍යාලය එක්ක එකතුවෙලා රටේ අනෙකුත් පළාත් පාලන ආයතනවලට ආදර්ශයක් වන විදියටත් ජාතික ප්‍රතිපත්තියක් හදාගන්න ඉවහල් වෙන විදියටත් මේක හොඳ ව්‍යාපෘතියක් කරමු කියලා.”
රෙදි අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන වසරකට දෙවරක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් මේ වනවිට කටයුතු කරමින් සිටියි. එසේම, මෙම එකතුවන ඇඳුම් නැවත භාවිත කළ හැකි මට්ටමට අලුත්වැඩියා කිරීමේ වැඩපිළිවෙලක් මොරටුව විශ්ව විද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරගෙන යයි.

“මිනිස්සු තව කෙනෙක් ඇඳපු එකක් අඳින්න කැමති නැහැ. කොච්චර දුප්පත් වුනත් තමන්ට ඇඳුමත් එක්ක හැදිච්ච අභිමානයක් තියෙනවා. අපි අනිවාර්යයන් සහතික කරනවා මේ ව්‍යාපෘතියෙන් එලියට එන ඇඳුම් ඔක්කොම අලුත් තත්ත්වයේ ඇඳුම් කියන එක. එහෙම වැඩපිළිවෙලක් හදමින් යනවා. ඒ වැඩපිළිවෙල ඇතුලේ රෙදි අපද්‍රව්‍ය බින්දුව කරනවා, රැකියා අවස්ථා ජනිත කරනවා, උපාධි මට්ටමට, තාක්ෂණික සහ තාක්ෂණික නොවන මට්ටමට. සාමාන්‍ය පෙළ නොකළ අයෙක්ට පවා රැකියා හැදෙනවා. මේ ඇදුම් හරහා දුප්පත් මනුස්සයෙක්ට අභිමානවත් ආදායම් මාර්ගයක් නිර්මාණය වන ගමන් අලුතින් ඇදුම් ගන්න වත්කමක් නැති කෙනෙකුටත් අලුත් ඇදුමක් තමන්ගේ කරගන්න මාර්ගයක් විවර කිරීමට අප පර්යේශණ කරනවා,” යනුවෙන් අවසාන වශයෙන් ආචාර්ය ප්‍රබෝද් මුණසිංහ පැවසීය.
උපුටා ගැනීම : theleader.lk




