සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එරෙහි නව නීතිවලින් ලෝක ඩාට්ස් ශූරියට තරග බිමේ දොර වැසෙයි
රූපවාහිනියෙන් විකාශනය කෙරුනු ඩාට්ස් තරගාවලියක තරග කළ සහ ලෝක ඩාට්ස් ශූරතාවලියක ක්‍රීඩා කළ ලොව පළමු විවෘත සංක්‍රාන්ති ලිංගික පුද්ගලයා වන නෙදර්ලන්තයේ නෝවා-ලින් වැන් ලීවන් (Noa-Lynn Van Leuven) ට තරග බිමෙන් සමුගැනීමට සිදුව තිබෙනවා.
ඩාට්ස් ක්‍රීඩාවේ නීති අධිකාරිය විසින් සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන්ට එරෙහිව පනවා තිබෙන නව නීති විසින් තමාව විශ්‍රාම ගන්වා ඇතැයි මේ ලෝක ඩාට්ස් ශූරිය පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙන. මතභේදාත්මක නව නීතිවලට අනුව සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තව දුරටත් කාන්තා තරගවලට සහභාගි වීමට අවසර නැහැ.
වෘත්තීය ඩාට්ස් සංස්ථාව මෙහෙයවන ලෝක ඩාට්ස් කාන්තා තරගමාලාවේ ශූරතා හයක් දිනා ගෙන සිටින වැන් ලීවන් ලෝක ඩාට්ස් ශූරතාවලියක ක්‍රීඩා කළ එදා මෙදා තුර පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාව ලෙසින් 2024 වසරේදී ඉතිහාසගත වුනා.

තව දුරටත් තමාට තරග කළ නොහැකි බවට ලැබුනු පණිවුඩයෙන් තමා විස්මයට පත්වූ බව වැන් ලීවන් කියනවා. ඇය ‘ඉන්ස්ටග්‍රෑම්’ හි මෙසේ සටහන් කර තිබෙනවා.
“මට ඊමේල් පණිවුඩයක් ලැබුනා. ඒක කියවලා බැලුවම මට මහන්සියක් දැනුනා. ඒ මගේ කැමැත්තෙන් නෙවෙයි. තව දුරටත් මට තරග කරන්න බැරි නිසායි.” “සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට මින් ඉදිරියට කාන්තා තරගවලට සහභාගි වෙන්න බැහැ කියලා ඩාට්ස් නීති අධිකාරිය තීරණය කර තිබෙනවා. මෙහි තේරුම වන්නේ මාව තරග බිමෙන් ඉවත් කළා කියන එකයි.”
“මෙතැනට එන්න මම අවුරුදු ගණනාවක් තිස්සේ බොහෝ වෙහෙසුනා. මම ඇවිත් මම තරග කළා. සෑම තරගයකදීත්, සෑම දිනයකදීත් මම ක්‍රීඩාවට ගරු කළා.” “දැන්, එක තීරණයකින් මට දන්වා තිබෙනවා මම තව දුරටත් මේ ක්‍රීඩාවට අයිති නැහැ කියලා. මේක මම ගැන විතරක් නෙවෙයි. මෙය මුළු සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවට ම එල්ල වූ තවත් විශාල පහරක්.”
“විශේෂයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෑතකදී ගත් තීරණවලින් පසුව දවසින් දවස සංක්‍රාන්ති ලිංගික ජනතාවට පවතින්නත්, තරග කරන්නත් අමාරු වෙමින් තිබෙනවා.”
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා තරගවලට සහභාගි වීමට ඉඩ නොදෙන බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෑතකදී නිවේදනය කළා.
“මෙයින් මාව නවත්තන්න පුළුවන් කියලා හිතනවා නම්, ඒක කරන්න බැහැ. අපටත් මේ ලෝකයේ පවතින්න අයිතියක් තියෙනවා!” නෝවා-ලින් වැන් ලීවන් අවධාරණය කරනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]




