“2030 සංචාරක ඉලක්ක සපුරා ගැනීමට නිපුණ ශ්‍රම බලකායක් සහ ශක්තිමත් ආයතන අත්‍යවශ්‍යයි ” – අගමැතිනිය කියයි

0
22

ශ්‍රී ලංකාවේ 2030 සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා හුදෙක් යටිතල පහසුකම් සංවර්ධනය සහ ආයෝජන පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා නිපුණ ශ්‍රම බලකායක්, ශක්තිමත් ආයතනික පද්ධතියක්, නවෝත්පාදන චින්තනයක් මෙන්ම විශිෂ්ටත්වය උදෙසා වන කැපවීම මූලික ධාවකයන් ලෙස ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

කොළඹ පිහිටි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කර සිටියාය.

එහිදී අනාගත සංචාරක ක්ෂේත්‍රයේ ඉල්ලුමට සරිලන පරිදි නිපුණතා සහිත මානව සම්පතක් ගොඩනැගීමේ වැදගත්කම පෙන්වා දුන් ඇය, රජයේ 2030 සංචාරක ඉලක්ක සපුරා ගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපනය සහ ආයතනික ධාරිතාව ඉහළ නැංවීම වෙනුවෙන් ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළාය.

සංචාරක ව්‍යාපාරය යනු හුදෙක් ආර්ථික කටයුත්තක් පමණක් නොවන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, එය සංස්කෘතීන් අතර සබඳතා ගොඩනගන, ජාත්‍යන්තර මට්ටමින් සක්‍රීයව දායක වන මෙන්ම ශ්‍රී ලාංකික පවුල් දහස් ගණනකට ජීවනෝපාය සපයන ප්‍රධාන මාර්ගයක් බවද පවසා සිටියි.

තවද, ශ්‍රී ලංකාව තුළ ගොඩනැගීමට අපේක්ෂා කරන සංචාරක කර්මාන්තය හරහා ගුණාත්මක රැකියා උත්පාදනය විය යුතු අතර, දේශීය ව්‍යවසායන් ශක්තිමත් කිරීම, තරුණ පරපුර බලගැන්වීම, කාන්තාවන්ට හිමි අවස්ථා පුළුල් කිරීම සහ ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ රට පුරා සිටින ප්‍රජාවන් වෙත සාධාරණව ගලා යාම තහවුරු කළ යුතු බවද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය. විශේෂයෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වීමට සහ එහි ප්‍රතිලාභ ලබා ගැනීමට කාන්තාවන්ට ඇති අවස්ථා වැඩි දියුණු කරමින්, ඔවුන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමේ අවශ්‍යතාවද ඇය මෙහිදී ඉස්මතු කළාය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අමාත්‍යාංශ නිලධාරීන්, SLITHM පාලක මණ්ඩල සාමාජිකයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියෝජිතයින්, සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ නියෝජිතයින්, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් රැසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here