සිරියාවේ උසස් අධ්යාපන ක්ෂේත්රය තුළ කාන්තාවන්ට පනවා ඇති නව සීමා කිරීම් හේතුවෙන් එරට තරුණියන්ගේ වෘත්තීය හා අධ්යාපනික අනාගතය දැඩි අවිනිශ්චිතතාවකට ලක්ව ඇති බව වාර්තා වේ.
සිරියානු අධ්යාපන අමාත්යාංශය විසින් අලුතින් පිහිටුවන ලද ‘ජාතික ආරක්ෂක විද්යාවන් පිළිබඳ විශ්වවිද්යාලය’ සහ ‘සිරියානු ආරක්ෂක විද්යා විශ්වවිද්යාලය’ සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ නව රෙගුලාසි මෑතකදී ප්රකාශයට පත් කර ඇත. ඒ අනුව, එම ආයතනයන්හි පවත්වාගෙන යන ආරක්ෂක හා හමුදා ක්ෂේත්රයන්ට අදාළ පාඨමාලා සඳහා කාන්තාවන් ඇතුළත් කරගැනීම සීමා කර තිබේ.
මෙම තීරණය හේතුවෙන් ඩමස්කස් විශ්වවිද්යාලයේ මෙකට්රොනික්ස් ඉංජිනේරු විද්යාව හදාරන 23 හැවිරිදි ලින් නජාබ් වැනි තරුණියන් රැසකගේ පශ්චාත් උපාධි සිහින අඩාල වී ඇත. මෙම පාඨමාලා වෙනත් සාමාන්ය විශ්වවිද්යාලවලින් හැදෑරීමට හැකියාව පැවතියද, ඒ සඳහා පවුලෙන් වෙන්වී වෙනත් ප්රාන්ත වෙත යාමට සිදුවීම ප්රායෝගික හා සමාජීය වශයෙන් විශාල අභියෝගයක් බව ඇය පෙන්වා දෙන්නීය. මෙම සීමා කිරීම් හමුදා විශ්වවිද්යාලවලට පමණක් සීමා වී නොමැති අතර, ඇලෙප්පෝහි දුම්රිය ආයතනය, හොම්ස්, දෙයිර් එල්-ශෝර් ඇතුළු ප්රදේශ කිහිපයක පිහිටි තෙල් හා ගෑස් පුහුණු මධ්යස්ථාන මෙන්ම මාධ්ය පාඨමාලා කිහිපයකටද කාන්තාවන් ඇතුළත් කරගැනීම අත්හිටුවා ඇත. එමෙන්ම පූර්ව ළමාවිය අධ්යාපනය සහ මාතෘ සාත්තු සේවාවන් වැනි පාඨමාලා සඳහා පිරිමි සිසුන් ඇතුළත් කරගැනීම තහනම් කර තිබේ.
මීට අමතරව, 2026-2027 අධ්යයන වර්ෂය සඳහා සකස් කරන ලද පාසල් පෙළපොත්වලින් හිස ආවරණය නොකළ කාන්තාවන්ගේ ඡායාරූප ඉවත් කර, හිජාබය සහිත පින්තූර ආදේශ කිරීමටද රජය කටයුතු කර ඇත. මෙම පියවර සම්බන්ධයෙන් අදහස් දක්වන මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) සඳහන් කරන්නේ, මෙය සිරියාවේ ජාත්යන්තර Legal Obligations උල්ලංඝනය කිරීමක් වන අතර, රාජ්ය ආයතන තුළ කාන්තා නියෝජනය සීමා කිරීමේ භයානක ප්රවණතාවක ආරම්භයක් බවයි.
2024 වසර අගභාගයේදී බෂාර් අල් අසාද්ගේ පාලනය බිඳවැටීමෙන් පසු බලයට පත් නව පාලනය යටතේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් තහවුරු වනු ඇතැයි අපේක්ෂා කළද, මෙවැනි ක්රියාමාර්ග මඟින් කාන්තා අයිතිවාසිකම් දැඩි ලෙස කප්පාදු වෙමින් පවතින බව විදේශීය මාධ්ය වාර්තා පෙන්වා දෙයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය dw.com වෙබ් පිටුව




