සිංගප්පූරු ජනාධිපතිගේ ලාංකික සම්භවයක් සහිත මෑණියන් අභාවප්රාප්ත විය.
ක්වාලාලම්පූර් නුවර උපත ලැබූ සර්වාම්බිකා ෂන්මුගරත්නම් (Sarvambikai Shanmugaratnam) මහත්මිය අභාවප්රාප්ත වන විට දරුවන් තිදෙනෙකුගේ, මුණුබුරු මිණිබිරියන් සිව්දෙනෙකුගේ සහ සහෝදරියන් දෙදෙනෙකුගේ සෙනෙහස ලබා සිටියාය.
සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතාගේ මව වන සර්වාම්බිකා ෂන්මුගරත්නම් මහත්මිය අප්රේල් 19 වැනිදා පස්වරුවේ අභාවප්රාප්ත වූවාය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 99කි.
මාධ්ය කළ විමසීම්වලට ප්රතිචාර දක්වමින් ජනාධිපති කාර්යාලය අප්රේල් 20 වැනිදා ඇයගේ අභාවය තහවුරු කළ අතර, “අභාවයෙන් සුළු වේලාවකට පසු පවුලේ සාමාජිකයන්ගේ පමණක් සහභාගීත්වයෙන් ඇයගේ දේහය ආදාහනය කළ” බව ප්රකාශ කළේය.
“මෙම අවස්ථාවේදී පවුලේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි ඉල්ලා සිටිමු,” යැයි ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පැවසීය.
එරට වෙබ් අඩවිවල පළ කරන ලද මරණ දැන්වීමට අනුව, ෂන්මුගරත්නම් මහත්මිය 1926 ජූලි 5 වැනිදා ක්වාලාලම්පූර් නුවරදී උපත ලබා ඇත. ඇය ශ්රී ලංකාවේ යාපනයේ පදිංචිකරුවන් වූ වෛද්ය ඒ. විශ්වලිංගම් සහ රත්නම්මාල් අයියාතුරෙයි යන දෙපළට දාව උපන් දරුවන් 11 දෙනෙකුගෙන් යුත් පවුලක සිව්වැන්නා වූවාය.
“නිහඬවම සම්ප්රදායන් වෙනස් කළ තැනැත්තියක වූ ඇය, තමාගේම ස්ථාවරයක සිටිමින් වෙනස්ම මාවතක ගමන් කළ අතර, ජීවිතයේ ස්වාධීනත්වය සහ අභියෝගාත්මක අත්දැකීම් වෙනුවෙන් සැමවිටම පෙනී සිටියාය,” යනුවෙන් එම මරණ දැන්වීමේ වැඩිදුරටත් සඳහන් වේ.
ඇය සිංගප්පූරුවේ කීර්තිමත් මහාචාර්යවරයකු වූ කනගරත්නම් ෂන්මුගරත්නම් මහතාගේ ආදරණීය බිරිඳ වූවාය. ඔහු 2018 වසරේදී වයස අවුරුදු 97ක්ව සිටියදී අභාවප්රාප්ත විය.




