‘සුරක්ෂිත නවාතැනක්’ ලබා දුන් ඔස්ට්‍රේලියානු රජයට ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනාගේ ස්තූතිය

0
13

‘සුරක්ෂිත නවාතැනක්’ පිළිගැන්වීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයට ස්තූතිය පළ කරන ෆාතීමේ පසාන්ඩිඩේ

(Fatemeh Pasandideh) සහ අටීෆා රාමෙසානිසාඩේ (Atefeh Ramezanisadeh) යන ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් දෙදෙනා,  තමන්ගේ ජීවිත නැවත ගොඩනගා ගැනීමෙන් පසුව සිය ක්‍රීඩා ජීවිත තව දුරටත් කරගෙන යාමට අපේක්ෂා කරන බව පවසනවා.

ඔස්ට්‍රේලියාවෙන් මානවවාදී වීසා ලැබීමෙන් පසුව ප්‍රථම වතාවට ඊයේ (17) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ මේ ක්‍රීඩිකාවන් දෙදෙනා, “මේ අභියෝගාත්මක අවස්ථාවේ අපට දැක්වූ දයාව හා සහයෝගය නිසා අපට සුරක්ෂිතව ජීවත් වෙමින් තරග කළ හැකි අනාගතයක බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා” යනුවෙන් නිවේදනයක් මගින් සඳහන් කර තිබෙනවා.

“මේ ලස්සන රටේ මානව හිතවාදී රැකවරණයක් හා සුරක්ෂිත නවාතැනක් අපට ලබා දීම ගැන අපේ හෘදයාංගම කෘතඥතාව ඔස්ට්‍රේලියානු රජයට හා විශේෂයෙන් ස්වදේශ කටයුතු ඇමති ටෝනි බර්ක් ට පළ කරන්න අපි කැමතියි” ඔවුන් කියා සිටිනවා.

ඔස්ට්‍රේලියාවේ පසුගියදා පැවති ආසියානු කුසලාන පාපන්දු තරගයකදී ඉරාන ජාතික ගීය ගායනා නොකිරීමෙන් පසුව ඉරාන ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීමක් මතුවුනේ ඉරාන රාජ්‍ය රූපවාහිනිය එම ක්‍රීඩිකාවන් “යුද්ධයේ ද්‍රෝහීන්’ ලෙස ලේබල් කිරීමත් සමගයි.

ඔස්ට්‍රේලියාව මුලින්ම සංචාරක ඉරාන සංචිතයේ ක්‍රීඩිකාවන් හය‌ දෙනෙකුට සහ ආධාරක කාර්ය මණ්ඩල සාමාජිකාවකට මානවවාදී වීසා අනුමත කළා. පසුව එයින් පස් දෙනෙක් ඔවුන්ගේ තීරණ වෙනස් කරමින් පසාන්ඩිඩේ හා රාමෙසානිසාඩේ හැර දමා යළි සියරට ගියා.

නතර වූ ක්‍රීඩිකාවන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ ‘ඒ’ ලීගයේ ක්‍රීඩා කරන කාන්තා කණ්ඩායමක් වන බ්‍රිස්බන් රෝ (Brisbane Roar) සමග පුහුණු වීම පසුගිය මාසයේ ආරම්භ කළා.

“ඔස්ට්‍රේලියාවේ සිටින ඉරාන ඩයස්පෝරා ප්‍රජාවගේ උනන්දුව හා කරුණාවන්ත බවෙන් අපි පුදුමයට පත්ව සිටිනවා. අපව සාදරයෙන් පිළිගන්නා බවක් ඔබේ සහයෝගයෙන් අපට දැනෙනවා. ඒ නිසා, මේ සංක්‍රමණය වීම හසුරුවා ගනිමින් සිටින අපට තනිකමක් දැනෙන්නේ නැහැ” යනුවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනා ප්‍රකාශ කරනවා.

දේශපාලන රැකවරණ ඉල්ලා සතියකට පසුව මේ ක්‍රීඩිකා යුගලය ‘බ්‍රිස්බන් රෝ’ කණ්ඩායම සමග පුහුණු වෙමින්, සිනාසෙමින් සිටින ඡායරූප දිස්වුනා. නමුත් එදා සිට ඔවුන් ප්‍රසිද්ධියේ දක්නට ලැබී නැති අතර එළිදරව් නොකළ ස්ථානයක මේ දෙදෙනාට නවාතැන් සපයා තිබෙනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here