ඉරාන පාපන්දු නායිකාවගේ රාජසන්තක කළ දේපළ නිදහස් කරයි

0
16

රජයට පවරා ගත් ඉරාන පාපන්දු නායිකාවගේ වත්කම් නිදහස් කර ඇතැයි ඉරානයේ අධිකරණය ප්‍රකාශ කරනවා.

ඉරානයේ කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම පසුගිය මාසයේ ඔස්ට්‍රේලියාවේ කළ සංචාරය අතරතුර ඇය එරට දේශපාලන රැකවරණය ඉල්ලා නැවත එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ඇගේ දේපළ ඉරාන රජයේ භාරයට ගෙන තිබුණා.

ඉරානය ට එරෙහි අමෙරිකා-ඊශ්‍රායල යුද්ධය ආරම්භයේ මාර්තු මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවති කාන්තා ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ ක්‍රීඩා කිරීමෙන් පසුව එරට දේශපාලන රැකවරණ ඉල්ලා සිටි ඉරාන ක්‍රීඩිකාවන් හය දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකාවකගෙන් යුත් කණ්ඩායමේ සහරා ඝන්බාරි (Zahra Ghanbari) නායිකාව ද සිටියා.

ඝන්බාරි ඇතුළු එම කණ්ඩායමේ පස් දෙනෙක් පසුව ඔවුන්ගේ තීරණය වෙනස් කර කණ්ඩායමේ අනෙකුත් අය සමග යළි මව්රට පැමිණි අතර ඔවුන්ට මාර්තු 19 වැනිදා ටෙහෙරාන් නුවර පැවති විශේෂ උත්සවයකදී වීරවරියන්ගේ පිළිගැනීමක් ලබා දුන්නා.

“ඉරාන කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක වන සහරා ඝන්බාරිගේ රාජසන්තක කළ දේපළ අධිකරණ නියෝගයකට අනුව නිදහස් කර තිබෙනවා” යනුවෙන් ඉරාන මාධ්‍ය වාර්තා කළා. ඇගේ හැසිරීම වෙනස් කිරීමෙන් පසුව ඇය විසින් ප්‍රකාශ කරන ලද නිදොස් බව සැලකිල්ලට ගෙන මේ පියවර ගෙන තිබෙන බව එම වාර්තා සඳහන් කරනවා.

මේ නිවේදනය පැමිණියේ යුද්ධය ආරම්භ වීමෙන් පසුව උසාවි නියෝගයකින් දේපළ රජයට පවරා ගත් “ද්‍රෝහීන්” ලෙස හංවඩු ගැසූ පුද්ගලයින්ගේ නම් ලැයිස්තුවක් ඉරාන මාධ්‍ය විසින් පළ කර දින දෙකකට පසුව.

ඝන්බාරිගේ නම ද මේ ලැයිස්තුවේ තිබුනත් ඇයගේ වත්කම් රාජසන්තක කිරීමේ තීරණය ගනු ලැබුවේ කවදා ද යන්න මුලින් පැහැදිලි වී තිබුනේ නැහැ.

ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායම ඔවුන්ගේ පළමු තරගයේදී ඉරාන ජාතික ගීය ගායනා නොකිරීමෙන් පසුව ඉරානයේ සිටින දැඩි මතධාරීන්ගේ විවේචනයට ලක්වුනා. 

පසුව පැවති තරගවලදී කණ්ඩායම ජාතික ගීය ගායනා කළ අතර එය ටෙහෙරානයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී කැපී පෙනුනු කාරණයක් වුණා.

ඉරාන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පමණක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි අතර ඔවුන් දැන් එරට ‘බ්‍රිස්බන් රෝ’ නමැති පාපන්දු සමාජය සමග පුහුණු වෙමින් සිටිනවා.

(සටහන : වර්නන් ගුණසේකර)
‘ද ලීඩර්’ ක්‍රීඩා වාර්තාකරු
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here