මාටිනා නව්රාටිලෝවා වසර 44කට පෙර ලබා ගත් අමෙරිකානු පුරවැසිභාවය අහිමි වේවිදැයි බියෙන්

0
60

විම්බල්ඩන් පුරාවෘත්තයක් වන මාටිනා නව්රාටිලෝවා මීට වසර 44කට පෙර ලබා ගත් අමෙරිකානු පුරවැසිභාවය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තමන්ගෙන් උදුරා ගැනීමට ඉඩ ඇතැයි යන බියෙන් පසුවනවා.


අපරාධකරුවන් පිටුවහල් කිරීමේ අමෙරිකානු ඉතිහාසයේ විශාලතම වැඩසටහන ක්‍රියාත්මක කරන බවට දුන් මැතිවරණ පොරොන්දුවට අනුව ට්‍රම්ප් විසින් රට පුරා දියත් කර තිබෙන ආගමන වැටලීම් හමුවේයි මේ ප්‍රතිමාමය ටෙනිස් ශූරිය ඇගේ බිය ප්‍රකාශ කර තිබෙන්නේ.

සිය මැතිවරණ මෙහෙයුමේදී අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ම ඔහුගේ පරිපාලනය රට පුරා වැටලීම් සිදු කරමින් සිටින්නේ කැලිෆෝනියාව, නිව්යෝක්, ෆිලඩෙල්ෆියා සහ හියුස්ටන් යන ප්‍රදේශවල දැවැන්ත විරෝධතාවන්ට මඟ පාදමින්.

දැන් 68 වැනි වියේ පසුවන නව්රාටිලෝවා ඇගේ උපන් බිම වන චෙකොස්ලොවේකියාව අතහැර අමෙරිකාව ට 1975 වසරේදී සංක්‍රමණය වූයේ 18 වැනි වියේ සිටියදී. 1981 වසරේදී අමෙරිකානු පුරවැසියෙකු බවට පත්වූ ඇය 2008 වසරේදී නැවත චෙකොස්ලොවේකියානු පුරවැසිභාවය ලබා ගනිමින් ද්විත්ව පුරවැසියෙකු බවට පත්වුනා.

නව්රාටිලෝවා අමෙරිකාවේ පදිංචියට පැමිණියේ ටෙනිස් ක්‍රීඩාවේ ලොව අංක 1 ට පිවිසීම සඳහා ඇයට තිබූ ආශාව නිසායි. තම රටේ තිබෙන තත්ත්වයන් යටතේ තමාට එම ඉලක්කයට යාමට නොහැකි බව ඇය කළින් ප්‍රකාශ කර තිබුනා.

Martina Navratilova & Julia Lemigova

කෙසේ වෙතත්, දැන් තම බිරිඳ වන ජූලියා ලෙමිගෝවා සමග ෆ්ලොරිඩා හි මයාමි පෙදෙසේ ජීවත් වන නව්රාටිලෝවා, වසර 45කට ආසන්න කාලයක් පුරා තමා සතුව තිබෙන අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමට ඉඩ ඇතැයි යන බියෙන් පසුවන බව පිළිගන්නවා.

සේවා ස්ථාන වටලන ආගමන නිලධාරීන්, පුරවැසියන් රඳවා ගැනීම යටතේ සංචාරකයන් අත්අඩංගුවට පවා ගෙන තිබෙන අතර ඉතාලි ජාතික Khaby Lame ද මේ අතර සිටිනවා. ලොව වඩාත්ම ජනප්‍රිය TikTok තරුව වන 25 හැවිරිදි මේ පුද්ගලයාට අනුගාමිකයන් මිලියන 162ක් සිටිය ද ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ඔහුව ලාස් වේගාස් ගුවන්තොටුපලේ රඳවා ගෙන සිටියා.

ලොව ප්‍රධානතම ටෙනිස් තරගාවලියක් වන විම්බල්ඩන් ඉතිහාසයේ මාටිනා නව්රාටිලෝවාගේ උරුමය සටහන්ව තිබෙන්නේ වසර 50කට ආසන්න කාලයක සිට. සමස්ත එංගලන්ත සමාජයේ ඇගේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා වූයේ 1976 වසරේ. ඒ, නව්රාටිලෝවා ඇයගේ ප්‍රබලතම ප්‍රතිවාදිනිය වූ ක්‍රිස් එවර්ට් සමග එක්ව යුගල ශූරතාව දිනා ගත් අවස්ථාවේ. එය  නව්රාටිලෝවාගේ විම්බල්ඩන් කිරුළු හතෙන් පළමුවැන්න වූ අතර ඇය මේ ඉසව්වේදී කේවල ශූරතා නවයක් දිනා ගත්තා. මෙය ටෙනිස් ඉතිහාසයේ ඔ්නෑම ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් එම ශූරතාව දිනා ගත් වැඩිම වාර ගණන වනවා.

සමස්තයක් වශයෙන් ඇය විවෘත තරග යුගයේදී වාර්තාගත ප්‍රධාන ශූරතා 59ක් දිනා ගැනීමට සමත් වූ අතර මෙයින් 18ක් කේවල තරගවලින් ද, 31ක් යුගල තරගවලින් ද, 10ක් මිශ්‍ර යුගල තරගවලින් ද වාර්තා වී තිබෙනවා.

මේ ජයග්‍රහණ නිසා නව්රාටිලෝවා ට ඇගේ වසර 32ක වෘත්තීය ක්‍රීඩා දිවිය තුළ පවුම් මිලියන 16.3ක (ඩොලර් මිලියන 22.6) මුදලක් ත්‍යාග මුදල් වශයෙන් උපයා ගැනීමට හැකිවුනා. ඇගේ ශුද්ධ වටිනාකම පවුම් මිලියන 18.6ක් (ඩොලර් මිලියන 25) බව වාර්තා වනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here