මෝස්තර ලෝකයේ මිනිස් රැකියා AI ක්ලෝනවලට බිලිවේද?

0
57

අන්තර්ජාල විලාසිතා වෙළෙඳපොළ තුළ අද සිදුවන්නේ නිහඬ විප්ලවයකි. නව ඇඳුම් එකතුවක් වෙබ් අඩවියට එක්කිරීමට සාම්ප්‍රදායිකව වැයවන වියදමෙන් සියයට 90ක්ම කපා හැරීමට කෘත්‍රිම බුද්ධිය (AI) සමත්ව ඇත.

කැමරා ශිල්පීන්, වේශ නිරූපණ ශිල්පීන්, මැදිරි කුලිය සහ නිරූපණ ශිල්පීන් වෙනුවෙන් වැයවන දින ගණනාවක ශ්‍රමය පරිගණක මවුසයේ ක්ලික් කිරීම් කිහිපයකට සීමා වී හමාරය.

ජාත්‍යන්තර රොයිටර්ස් පුවත් සේවය හෙළිදරව් කළ රහස්‍ය ඡායාරූප ගිවිසුම් ගණනාවකට අනුව, ඩීසල් (Diesel), කැල්වින් ක්ලයින් (Calvin Klein) සහ ලොරියල් (L’Oreal) වැනි දැවැන්තයින් නිරූපණ ශිල්පීන්ගේ ශරීර හැඩතල AI මෙවලම් පුහුණු කිරීමට අවසර ඉල්ලා තිබේ.

එක් ඡායාරූප සැසියකට පමණක් මුදල් ගෙවා, එම ශිල්පියාගේ මුහුණ සහ සිරුර පරිගණකයෙන් ක්ලෝන කර ගැනීම මහා සමාගම්වල උපක්‍රමයයි. ඉන්පසු කිසිදු අමතර ගෙවීමකින් තොරව එම ඩිජිටල් අනුරුව (Digital Twin) සමාගමේ ඕනෑම ඇඳුමකට සදාකාලිකවම පළඳවා ගත හැකිය.

“අපේ ප්‍රධාන ආදායම් මාර්ගය වන අන්තර්ජාල විලාසිතා ඡායාරූපකරණය මේ වනවිටත් අහිමි වෙමින් පවතිනවා,” යනුවෙන් හඬ අවදි කරන්නේ ලන්ඩනයේ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වන අඩොට් ගැක් (Adot Gak) ය. “අපි දැන්ම මේ ගැන කතා නොකළොත්, තව වසර දෙකකින් මුළු ක්ෂේත්‍රයේම ඉතිරි වන්නේ කෘත්‍රිම AI රූකඩ (Bots) පමණයි.”

යුරෝපයේ විශාලතම අන්තර්ජාල විලාසිතා සමාගම වන Zalando පසුගිය වසරේ සිය බර්ලින් ඡායාරූප මැදිරි වසා දමා රැකියා 340ක් කප්පාදු කළේ මෙහි ඍජු ප්‍රතිඵලයක් ලෙසිනි. ඔවුන්ගේ Scayle ස්ටූඩියෝව හරහා එක් මසකදී පමණක් සන්නාම 130ක් වෙනුවෙන් නිර්මාණය කර ඇති පරිගණක විලාසිතා රූප ප්‍රමාණය එක්ලක්ෂ අනූදහසකි.

සාමාන්‍ය පාරිභෝගිකයෙකුට සැබෑ මිනිස් රුවක් සහ AI මඟින් මවන ලද රූපයක් අතර වෙනස වෙන්කර හඳුනාගැනීම අද වනවිට මුළුමනින්ම පාහේ කළ නොහැකි මට්ටමකට තාක්ෂණය සියුම් වී තිබේ.

අවුරුදු 20ක ආධුනික නිරූපණ ශිල්පීන් තමන් අත්සන් තබන ගිවිසුම්වල ඇති භයානක යටිපෙළ නොදැන, තමන්ගේම ඩිජිටල් අනන්‍යතාවය සදහටම සමාගම්වලට පවරා දෙන බව බාසිලෝනාවේ යුනිකෝ මොඩල්ස් (Uniko Models) ආයතනයේ ප්‍රධානී පැට්‍රික් ස්ටාල් පෙන්වා දෙයි.

ලොව බොහෝ රටවල තාක්ෂණික වේගයට ගැළපෙන පරිදි නීති සම්පාදනය වී නැතත්, ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය පැනවූ නව ‘විලාසිතා කම්කරු පනත’ (Fashion Workers Act) නිරූපණ ශිල්පියාගේ පූර්ණ ලිඛිත එකඟතාවයකින් තොරව ඔවුන්ගේ ඩිජිටල් ක්ලෝන භාවිතය නීතිවිරෝධී කර තිබේ.

එක්සත් රාජධානියේ හෝ යුරෝපා සංගමයේ මෙවැනි බැඳී සිටින නීතිමය රාමුවක් තවමත් ස්ථාපිත වී නොමැති පසුබිමක, ලොව පුරා තරුණ නිරූපණ ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් සහ ජීවනෝපාය ඩිජිටල් අගාධයකට ඇදවැටීමේ අනතුර දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී.

Theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here