ජීවිතයට එල්ල වන දරුණුතම අභියෝග හමුවේ පවා නොසැලී නැගී සිටිමින්, සාම්ප්‍රදායික හා පෝෂ්‍යදායී ආහාර නිෂ්පාදන ව්‍යාපාරයක් ඔස්සේ සිය පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගත් දිරිය කාන්තාවක ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ තොට්ටියඩි ගම්මානයේ වෙසෙන 46 හැවිරිදි සෙල්වසෙන්තන් උදයලීලා උදාහරණයට ගත හැකිය.
ශ්‍රී ලංකාවේ පැවති සමාජ-ආර්ථික අර්බුදයෙන් වඩාත්ම පීඩාවට පත් කාන්තාවන් වෙනුවෙන් ජපාන රජයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) විසින් ක්‍රියාත්මක කළ ‘Empowering Women in Crisis’ ව්‍යාපෘතිය හරහා උදයලීලා ඇතුළු කාන්තා මූලික ක්ෂුද්‍ර ව්‍යවසායන් 600කට අධික සංඛ්‍යාවකට සිය ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට සහ ජීවනෝපාය නගා සිටුවීමට අවශ්‍ය සහයෝගය හිමි විය.
අභියෝග මැද ඇරඹි ගමන

සිය ව්‍යාපාරික ගමනේ ආරම්භය පිළිබඳව අදහස් දක්වමින් උදයලීලා මෙසේ පවසයි,
“මම මගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟයි ජීවත් වෙන්නේ. පැවති ගැටුම්කාරී වාතාවරණය තුළ මගේ සැමියාගේ එක් අතක් අහිමි වුණා වගේම එක් පාදයක් අප්‍රාණික වුණා. ඒ නිසා අපිට විශාල වශයෙන් වෛද්‍ය වියදම් දරන්න සිදු වුණා. කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟ ඔහුගේ රැකියාවත් අහිමි වුණාම අපේ ආර්ථික දුෂ්කරතා තවත් වැඩි වුණා. මගේ පවුලේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරන්න වගේම අපේ ප්‍රජාව තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු දිරිමත් කරන්න මම ව්‍යවසායකත්වයට පිවිසෙන්න තීරණය කළා.”
සාම්ප්‍රදායික නමුදු පෝෂ්‍යදායී නිෂ්පාදන
ඇය පවත්වාගෙන යන පවුලේ ව්‍යාපාරය තුළින් සාම්ප්‍රදායික හා පෝෂ්‍යදායී ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරේ. විවිධ ධාන්‍ය පිටි වර්ග භාවිතයෙන් සකසන පෝෂ්‍යදායී ආහාර මෙන්ම ඖෂධීය ගුණයෙන් යුතු ගෙදරදීම සාදන කෝපි කුඩු ද ඇයගේ නිෂ්පාදන අතර වේ. කොත්තමල්ලි, වියළි ඉඟුරු සහ සූදුරු වැනි දේශීය ඖෂධීය ද්‍රව්‍ය මුසු කරමින් ඇය මෙම කෝපි මිශ්‍රණය නිපදවයි.
“අපේ ඉලක්කය වන්නේ විටමින් සහ ප්‍රෝටීන් බහුල එදිනෙදා ආහාර නිෂ්පාදන ජනතාවට ලබා දෙමින්, වඩාත් සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගැනීමට ඔවුන්ව උනන්දු කිරීමයි. මගේ ව්‍යාපාරය සාර්ථක බව මම දන්නේ ලාභය සහ ආදායම වැඩි වීම නිසාම නෙවෙයි. අපේ නිෂ්පාදන සෞඛ්යාරක්ෂිත, පිරිසිදු සහ දැරිය හැකි මිලකට ලබා ගත හැකි බවට පාරිභෝගිකයන්ගෙන් ලැබෙන යහපත් ප්‍රතිචාර නිසයි.”
ආර්ථික අර්බුදය උග්‍ර වූ සමයේ අමුද්‍රව්‍ය හිඟවීම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා මිල ගණන් අඩු කිරීමට සිදුවීම වැනි දැඩි දුෂ්කරතාවලට ඇයට මුහුණ දීමට සිදු විය. එම තීරණාත්මක අවස්ථාවේදී UN Women ආයතනයේ පුහුණු වැඩසටහන්වලට සහභාගී වීමට ඇයට අවස්ථාව ලැබී තිබේ.
“මිල නියම කිරීමේ උපාය මාර්ග, ප්‍රචාරණය සහ ගිණුම් තැබීම වැනි විෂයන් පිළිබඳව එම පුහුණුවෙන් අපිට ලැබුණු දැනුම මිල කළ නොහැකියි. අවිනිශ්චිත කාලවලට මුහුණ දෙන විට අපි අපේම දෑතින් ජීවිතය ගොඩනගා ගන්න ඉගෙන ගත යුතුයි.
සැබෑම ‘පවුලේ ව්‍යාපාරයක්’
උදයලීලාගේ ව්‍යාපාරය සැබෑ අර්ථයෙන්ම පවුලේ සියලු දෙනාගේම දායකත්වයෙන් ක්‍රියාත්මක වන්නකි.
“මම ආහාර ද්‍රව්‍ය පිළියෙල කරන අතර, මගේ සැමියා බෙදාහැරීමේ සහ ප්‍රචාරණ කටයුතු කළමනාකරණය කරනවා. දරුවන් දෙදෙනා ගිණුම් කටයුතු බලා ගන්නවා. මවක් විදිහට ඒක මට ලොකු සතුටක්. මොකද දරුවන් කුඩා කාලයේදීම මේ සංකල්ප ඉගෙන ගන්න නිසා, අනාගතයේදී තමන්ගේම දෙපයින් නැගී සිටීමට එය ඔවුන්ට ශක්තියක් වෙනවා.”
ස්වභාවික හා ස්වයංපෝෂිත ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කරන උදයලීලාගේ මීළඟ අපේක්ෂාව වන්නේ සිය ව්‍යාපාරය සමාගමක් දක්වා දියුණු කර තවත් පිරිසකට රැකියා අවස්ථා උදා කර දීමයි.
“ඒක ළඟා කර ගන්න බැරි ඉලක්කයක් නෙවෙයි; ඒක මගේ වගේම අනෙකුත් පවුල්වලටත් අඳුරු උමඟක් කෙළවර පෙනෙන ආලෝකයක්. මගේ මේ ගමන ධෛර්යය, නවෝත්පාදනය සහ සාම්ප්‍රදායික ආහාරවල ඇති සුව කිරීමේ බලය පිළිබඳ නොසැලෙන විශ්වාසය මත ගොඩනැගුණු එකක්. සමහර වෙලාවට මෙහෙ ජීවත් වෙන්න අමාරුයි වගේ දැනුණත්, අපිට ලැබෙන හැම සහයෝගයකටම අපි කෘතඥ වෙනවා. අපේ රටේ අනෙක් අයටත් මේ ජයග්‍රහණවල ප්රතිලාභ ලැබේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.”
මූලාශ්‍රය
UNWOMEN




