බහු සංස්කෘතික සමාජයක අන්‍යෝන්‍ය අවබෝධය, සංවාදය සහ සමාජ සංහිඳියාව තුළින් ගැටුම් නිරාකරණය කර ගනිමින් සාමකාමී පරිසරයක් ගොඩනැගීමට පෙරමුණ ගත් ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකුගේ සුවිශේෂී කතාවක් එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) විසින් පළ කර තිබුණා.
2020–2022 කාලසීමාව තුළ UN Women ආයතනය විසින් ක්‍රියාත්මක කළ ‘Implementation of the Women, Peace and Security Agenda in Sri Lanka’ ව්‍යාපෘතිය යටතේ, දේශීය සමාජ ව්‍යවසායයක් වන ක්‍රිසාලිස් ආයතනය හා එක්ව අම්පාර, මොණරාගල සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල සමාජ සංහිඳියාව පිළිබඳ පුහුණු වැඩසටහන් පවත්වනු ලැබීය. මෙම වැඩසටහන් හරහා කාන්තා නායිකාවන් 270කට අධික පිරිසකට සහ සිවිල් සමාජ සංවිධාන 90කට සිය ප්‍රජාව තුළ සාමය ගොඩනැගීම සඳහා අවශ්‍ය කුසලතා ලබා දී ඇත.
එම පුහුණුවෙන් ලද දැනුම ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින් සිය ගම්මානවල වෙනසක් ඇති කළ කාන්තාවන් තිදෙනෙකුගේ අත්දැකීම් මෙසේය.
වීදි නාට්‍ය කලාවෙන් සංහිඳියාව ගොඩනැගූ කාරතිව්හි යෝගමතී යෝගනාදන්

“අපේ අසල්වැසි බොහෝ දෙනෙක් තමන් රණ්ඩු වෙන්නේ මොකටද කියලවත් දන්නේ නැහැ. නමුත් සමාජ සංහිඳියාව පිළිබඳ දැනුවත්භාවය තුළින් ඔවුන්ගේ මනසට පැහැදිලි බවක් ලැබෙනවා. අවබෝධයෙන් හා ආදරයෙන් සන්නිවේදනය කිරීමට ඉගෙන ගත්තොත් අප අවට ඇති ගැටුම් විසඳා ගත හැකි බව මම විශ්වාස කරනවා.”
නැගෙනහිර වෙරළ තීරයේ කාරතිව් ගම්මානයේ වෙසෙන යෝගමතී යෝගනාදන් සිය පුහුණුවෙන් පසු, අතීතයේ සමාජ නොසන්සුන්තාවන්ට මුහුණ දුන් සිය ගම්මානයේ සාමය ගොඩනැගීම වෙනුවෙන් වීදි නාට්‍යයක් සංවිධානය කළාය.
දෙමළ, මුස්ලිම් සහ සිංහල ප්‍රජාවන් නියෝජනය කරමින් 200කට අධික පිරිසක් නැරඹූ මෙම ද්විභාෂා වීදි නාට්‍යය මගින්, එක් එක් ප්‍රජාවන් අතර පවතින අනවශ්‍ය සැකය, ඒකාකෘති සහ අවිශ්වාසය පිළිබඳව අවධානය යොමු කෙරිණි. අනෙකා කෙරෙහි ඇති බිය දුරු කර සන්නිවේදන මාර්ග විවෘත කිරීම සහජීවනයට මග පාදන බව ඉන් අවධාරණය විය.
සාමය ගොඩනැගීම නිවසින්ම, තම සහකරු සමඟ ආරම්භ විය යුතු බව පවසන යෝගමතී, සිය ‘කලෛමගල් සංගම්’ හරහා අසල්වැසි නින්දවූර් මුස්ලිම් පවුල් 50ක් ඇතුළුව පවුල් 200කට අධික සංඛ්‍යාවක් වෙත සංහිඳියාවේ පණිවිඩය රැගෙන යාමට සමත් වූවාය. දෙපාර්ශ්වය අතර ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමටත්, දරුවන් වෙනුවෙන් ප්‍රජා ක්‍රීඩා උළෙලක් පැවැත්වීමටත් ඇය ඉදිරියේදී බලාපොරොත්තු වේ.
මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් බේරා ගැනීමට පෙරමුණ ගත් මොණරාගල චාන්දනී මල්කාන්ති

“අපේ දරුවන් මුහුණ දෙන අභියෝග කාන්තාවන් හොඳින් තේරුම් ගන්නවා. නිවැරදි මගපෙන්වීමක් ලබා දුන්නොත්, සමාජයට වැඩදායී, නිරෝගී පුද්ගලයන් බිහි කිරීමට අපට පුළුවන්.”
මොණරාගල ‘දිලෙන තරු’ කාන්තා සංවිධානයේ සාමාජිකාවක වන 30 හැවිරිදි චාන්දනී මල්කාන්ති, දෙදරු මවක් ලෙස සිය ප්‍රදේශයේ පාසල් දරුවන් මුහුණ දී සිටි දරුණු මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව නැගී සිටියාය. ඇයගේ ගම්මානයේ පාසලේ විශේෂයෙන්ම 3 සිට 5 ශ්‍රේණි දක්වා ඉගෙනුම ලබන දරුවන් සැලකිය යුතු පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම බරපතළ ගැටලුවක් වී තිබුණි.
පොලිසියේ ද සහයෝගය ඇතිව චාන්දනී සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහන හරහා දරුවන් 80කට වැඩි පිරිසක් සහ ඔවුන්ගේ දෙමාපියන් දැනුවත් කෙරිණි. මේ නිසා සියඹලාණ්ඩුව කොට්ඨාසයේ බහුතරයක් දරුවන් මත්ද්‍රව්‍යවල ආදීනව පිළිබඳව අවබෝධයක් ලබා ගත් අතර, අසල්වැසි මාදාගම ගම්මානයේ තවත් පවුල් 60ක් වෙත මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීමට ඇය අපේක්ෂා කරයි.
වෙනත් ජාතීන් සහ ආගම් කෙරෙහි ඇති පූර්ව නිගමන සහ බිය දුරු කිරීමෙන් සාමය උදා කර ගත හැකි බව පවසන ඇය, “ජාතිවාදය යනු ජාතියක් ලෙස අපේ පරිහානියට මූලික හේතුවයි; අප පටු මානසිකත්වයෙන් මිදීමට කාලය එළඹ තිබෙනවා”යැයි අවධාරණය කරයි.
ප්‍රජා මධ්‍යස්ථානය පිළිසකර කරමින් සංවාදයට මග පෑදූ වවුනියාවේ උදයකුමාර් සුසිලා

“අපි මේ මොහොතේ බොහෝ ගැටලුවලට මුහුණ දුන්නත්, අපි එකමුතුව සිටියොත් ඕනෑම දෙයක් ජය ගන්න පුළුවන් කියලා මට දැනෙනවා.”
වවුනියාව කන්නට්ටි කනේෂපුරම් ගම්මානයේ පදිංචි 40 හැවිරිදි උදයකුමාර් සුසිලා, චෙට්ටිකුලම්හි පැවති UN Women පුහුණු වැඩසටහනට සහභාගී වීමෙන් පසු ගැටුම් ඇතිවීමට හේතු හඳුනා ගැනීමටත්, ඒවා විසඳා ගැනීමටත් ඉගෙන ගත්තාය.
ඉන් අනතුරුව ඇය සිය ගම්වාසීන් ඒකරාශී කර ගනිමින්, ප්‍රජාවේ ප්‍රධාන රැස්වීම් ස්ථානය වන ග්‍රාම නිලධාරී කාර්යාලය ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේප කිරීමට පියවර ගත්තාය. මීට සමගාමීව ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා කෙසෙල් සහ පොල් වැනි භෝග වගා කිරීමටත්, අසල්වැසියන් 200කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ගැටුම් නිරාකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වීමටත් ඇය කටයුතු කළාය.
සිය ප්‍රදේශයේ කාන්තා සංගමයේ නායිකාව ලෙස සුසිලා දැන් කාන්තාවන් අතර ඇතිවන ගැටුම් සමථයකට පත් කිරීමට මැදිහත් වෙයි.
“අපේ ප්‍රජාවේ ජනතාව දැන් සන්නිවේදනය තුළින් ගැටුම් විසඳා ගැනීමට වඩාත් විවෘත වෙමින් සිටිනවා. අර්ථවත් සාකච්ඡා තුළින් සාමය ළඟා කර ගත හැකි බව ඔවුන් ඉගෙන ගනිමින් සිටිනවා,”
යැයි ඇය සතුටින් පවසයි.
සටහන | අභි අනන්ත්
මූලාශ්‍රය UNWOMEN




