“තමන්ගේ දරුවන් වෙනුවෙන් වගකීම භාරගන්න . දරුවන්ව අනාරක්ෂිත කරන්න එපා “– කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගෙන් ගැහැණු දරුවන් සිටින දෙමව්පියන්ට විශේෂ පණිවිඩයක්

0
28

අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු අලුත උපන් බිළිඳා සමඟ නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දියණිය පිළිබඳ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විශේෂ ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. ගැහැණු දරුවන් සිටින සියලුම දෙමව්පියන් තම දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීම නිසි ලෙස භාරගත යුතු බවත්, කිසිදු අයුරකින් තම දරුවන් අනාරක්ෂිත තත්ත්වයකට පත් නොකළ යුතු බවත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය අවධාරණය කර තිබේ.

ළමා වියේදීම මව්වරුන් බවට පත්වීම සමාජයක් ලෙස ඉතා ඛේදනීය තත්ත්වයක් බව පෙන්වා දෙන අමාත්‍යවරිය, ක්‍රීඩා කිරීමට සහ පොත්පත් පෑන් පැන්සල් පරිහරණය කරමින් අධ්‍යාපනය ලැබීමට සිටින වයසේ දරුවන්ට තවත් කුඩා දරුවෙකු රැකබලා ගැනීමේ බරපතළ වගකීම දැරීමට සිදුවීම දරුවෙකුට මුහුණ දීමට සිදුවන නරකම අත්දැකීම බව සඳහන් කළාය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා පවුල තුළ යහපත් සන්නිවේදනයක් පැවතීම අත්‍යවශ්‍ය බවත්, තම දරුවන් පවුල තුළම අනාරක්ෂිත නොකර ආරක්ෂා කර ගැනීමට දෙමව්පියන් වගබලා ගත යුතු බවත් ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම, තමන්ගේම දරුවන් අනාරක්ෂිත තත්ත්වයකට පත් කරන දෙමව්පියන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන පද්ධතිය තුළ ශක්තිමත් විය යුතු බව ද ඇය වැඩිදුරටත් කියා සිටියාය. පවුල තුළ පවතින සන්නිවේදනය සම්බන්ධයෙන් දෙමව්පියන් ඉතාම වගකීම් සහගත විය යුතු බවද අමාත්‍යවරිය පවසා සිටියා.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය සහ ළමා ආරක්ෂණ නීති අනුව, වයස අවුරුදු 16 ට අඩු ගැහැණු දරුවෙකු සමඟ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලිංගිකව එක්වීම නීතිවිරෝධී අපරාධයක් (Statutory Rape) වන අතර, එය කිසිදු හේතුවක් මත සාධාරණීකරණය කළ නොහැකිය. එවැනි නීති විරෝධී ක්‍රියාවලදී ළමුන් ආරක්ෂා කිරීමට අපොහොසත් වන හෝ ඊට වක්‍රව වගකිව යුතු දෙමව්පියන් හෝ භාරකරුවන් සම්බන්ධයෙන් ද නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි.


කිසිදු හේතුවක් මත එවැනි ක්‍රියා සාධාරණීකරණය නොකළ යුතු බව දැඩිව අවධාරණය කළාය.

මෙවැනි සිදුවීම්වල ඇති දරුණුතම ඛේදවාචකය වන්නේ දරුවෙකු බිහි කිරීමේදී ඇතිවන ශාරීරික හානි, රුධිර වහනය සහ වෙනත් සෞඛ්‍ය සංකූලතාවලට මුහුණ දීමට සිදුවන්නේ එම ගැහැණු දරුවාටම වීමයි. ඊට අමතරව අධ්‍යාපනයෙන් පිටමං වීම සහ මුළු ජීවිතයම අතරමං වීම යන සියලු පීඩාවන්ට ගොදුරු වන්නේ ද ඇයම බව අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here