කාන්තා ව්‍යවසායකත්වයේ තිරසාර වර්ධනය වෙනුවෙන් WCIC නව මඟකට

0
21

කාන්තා වාණිජ හා කාර්මික මණ්ඩලය (WCIC) විසින් කාන්තා ව්‍යවසායිකාවන්ට ව්‍යාපාර බිහි කිරීමෙන් ඔබ්බට ගොස් ඒවායේ තිරසාර වර්ධනයක් ළඟා කරදීම සඳහා තම අවධානය දැඩි ලෙස යොමු කර තිබේ. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති WCIC හි 41 වැනි වාර්ෂික මහා මණ්ඩල රැස්වීමේදී මේ බව අනාවරණය විය. එහිදී සභාපතිනී ගයානි ද අල්විස් සඳහන් කළේ, කාන්තාවන්ගේ ව්‍යාපාර වර්ධනය වීම සහ ආර්ථිකයට ඔවුන් ලබා දෙන දායකත්වය පුළුල් වීම හරහා ඔවුනගේ සැබෑ බලපෑම ඇගයීමක් සිදු කෙරෙන බවයි.

මෙම කාල සීමාව තුළ සාමාජික සංඛ්‍යාව 20% කින් වර්ධනය කර ගනිමින් සාමාජිකාවන් 460 ඉක්මවා යාමට මණ්ඩලය සමත් වී ඇති අතර, ජාතික නවෝත්පාදන නියෝජිතායතනය සහ ලංකා ඒන්ජල් ජාලය (LAN) වැනි ප්‍රමුඛ ආයතන සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයන් ද ඇති කර ගෙන තිබේ. එපමණක් නොව, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ C190 සම්මුතිය අනුමත කිරීමට සහාය වීම ඇතුළු ප්‍රබල ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහාද මණ්ඩලය මැදිහත් වී ඇත.

නව වසර හෙවත් 2026/2027 කාලසීමාව සඳහා WCIC නව නායකත්ව මණ්ඩලය මෙහිදී පත් කරගනු ලැබූ අතර, එහි සභාපතිනිය ලෙස ගයානි ද අල්විස් යළිත් වරක් තේරී පත් වූවාය. එහි 1 වන උප සභාපතිනිය ලෙස රමණී පොන්නම්බලම් ද, 2 වන උප සභාපතිනිය ලෙස නිලානි සෙනෙවිරත්න ද වගකීම් භාරගත් අතර, සම ලේකම්වරුන් ලෙස ටෙහානි මැතිව් සහ සොනාලි ද සිල්වා යන අය කටයුතු කරන්නට නියමිතය. භාණ්ඩාගාරික ලෙස සහ්රා කාදර්, නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස රේණුකා සේනානායක පත් වූහ. මීට අමතරව, ඕෂධී සෝමසිංහ, ක්‍රිෂ්ණජින රජපතිරණ, සහ්රා අන්සාරි, වත්සලා වික්‍රමනායක, එරාන්ති ප්‍රේමරත්න, ෂබියා අලි අහ්ලාම්, මලර්විලි ඇන්ටන් සහ යොලන්තිකා එල්ලේපොළ යන කණ්ඩායම නව මණ්ඩල සාමාජිකාවන් ලෙස මෙහිදී නිල වශයෙන් පත්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here