“වැඩට යාම නවත්වා වැඩට යති ගැහැණු…”

    0
    4

    රැකියාවකට ගිහින් එන කාන්තාවක් ගෙදර ආවත් විවේකයක් තියෙනවද? සමහර විට ඔබත් මේ තත්ත්වයට මුහුණ දීලා ඇති. උදේ පාන්දරම කුකුළත් අතේ තියාගෙන පටන් ගන්න වැඩ රාජකාරි රෑ වෙනකල්ම ඉවරයක් වෙන්නෙ නම් නැහැ. ඒ අතරට දරුවන් බලාගැනීම, වැඩිහිටියන්ට සැලකීම සහ ගෙදරදොර වැඩත් ඇතුළත් වෙනවා. ගෘහණියක් කම පවුල වෙනුවෙන් ඉටු කරන මේ කිසිදු වැටුපක් නොලැබෙන, කිසිවෙක් ගණන් නොගන්නා සහ නොසලකා හරින ලද ගෘහස්ථ ශ්‍රමය වෙනුවෙන් මෙරට දහස් සංඛ්‍යාත කාන්තාවන්ට තමන්ගේ වෘත්තීය ජීවිතයට සමුදෙන්න සිදුවෙලා තියෙනවා කියන කාරණාවට ඔබත් එකඟයිද? කාන්තා හා ළමා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දෙන්නේ ලංකාවේ කාන්තාවන් රැකියා වෙළෙඳපොළෙන් ඉවත් වෙන්න ප්‍රධානම හේතුව මෙන්න මේ තත්ත්වය කියලයි.

    රටට වැඩදායී සේවකයෙක්, දස්කම් දක්වන නායකයෙක් හෝ පාසල් යන දක්ෂ දරුවෙක් පිටුපස ඉන්නේ එයාව රැකබලා ගන්නා තවත් කෙනෙක්. හැබැයි මේ හැම සාර්ථක කතාවක් පිටුපසම තියෙන අතිමහත් කැපවීම කාන්තාවකට අයිතියි. ඒ කාන්තාව ඔබේ මව, බිරිඳ, දියණිය, සහෝදරිය, ඥාතිවරිය හෝ යෙහෙළියක් කියන කවර හෝ භූමිකාවකින් පෙනී සිටිනවා වෙන්නට පුළුවන්.

    “ගෙදර වැඩ කියන්නේ ගැහැණියගේ විතරක්ම වන වගකීමක්” කියන පරණ මානසිකත්වයෙන් රටක් වශයෙන් අපි තාමත් මිදිලා නැහැ. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ආර්ථිකයක් දියුණු වෙන්න නම් පවුල් සංස්ථාව ශක්තිමත් වෙන්න ඕන. ඒ නිසා පවුලට සැලකීම කියන්නේ තනිකරම කාන්තාවන්ට පමණක් පැටවෙන බරක් නෙවෙයි, පවුල, සමාජය සහ රාජ්‍යය එකතු වෙලා බෙදාගන්න ඕන හවුල් වගකීමක්.

    මේ තත්ත්වය වෙනස් කිරීමටත් රාජ්‍ය මට්ටමින් ජාතික ක්‍රියාකාරී සැලසුම් නිර්මාණය පවතින අතර, ළමා සහ වැඩිහිටි සත්කාර මධ්‍යස්ථාන වෙනුවෙන් වැඩි වැඩියෙන් ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. මොකද, අපේ ආර්ථිකයත් පවුලත් පවත්වාගෙන යන්නේ කාන්තාවගේ මේ කියන නොපෙනෙන ශ්‍රමයයි. ඒ නිසාවෙන් මේ සඳහා ආයෝජනය කිරීම කියන්නේ අපිට ඕන නම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි, රටක් විදිහට අනිවාර්යයෙන්ම කළ යුතුම දෙයක්!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here