ඔක්තෝබර් යනු රෝස වර්ණයේ මාසයයි. ලෝකය පුරා ප්‍රසිද්ධ ගොඩනැගිලි රෝස පැහැති විදුලි පහන්වලින් ආලෝකවත් වෙමින් සහ ජනතාව රෝස පැහැ පටි පැළඳිමින් සැමරෙන ඔක්තෝබර් මාසය, කාන්තාවන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව විශේෂයෙන් කතාබහට ලක්වන කාල සීමාවකි. ‘Pink October’ හෙවත් පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය ලෙස නම් කර ඇති මෙම කාලය තුළ, ලොව පුරා කාන්තාවන් අතර බහුලව වාර්තා වන පියයුරු පිළිකා පිළිබඳව සමාජය දැනුවත් කිරීම, මුල් අවධියේදීම රෝග ලක්ෂණ හඳුනා ගැනීම සහ රෝගීන්ට අවශ්‍ය මානසික හා සමාජීය ශක්තිය ලබා දීම ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.
පියයුරු පිළිකාවක් මුල් අවධියේදීම හඳුනා ගැනීම මඟින් සම්පූර්ණ සුවය ලබා ගැනීමට ඇති අවස්ථාව ඉතා ඉහළ මට්ටමක පවතින බැවින්, සෑම කාන්තාවක්ම තම සිරුර පිළිබඳව නිරන්තරයෙන්ම විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ. වෛද්‍යවරුන් පෙන්වා දෙන පරිදි නිවසේදීම සිදු කළ හැකි සරල ස්වයං පරීක්ෂණ මඟින් යම් අසාමාන්‍යතාවක් හෝ ගැටිත්තක් මුල් අවධියේදීම හඳුනා ගැනීමට හැකි වීම ජීවිතාරක්ෂක පියවරකි. වයස අවුරුදු විස්ස ඉක්මවූ සෑම කාන්තාවක්ම මසකට වරක් මෙම ස්වයං පරීක්ෂණය සිදු කර ගැනීම වැදගත් වන අතර, වයසත් සමඟ ඇති වන අවදානම් තත්ත්වයන් මත වෛද්‍ය උපදෙස් මත පදනම් වූ සායනික පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණ කරවා ගැනීමට ද කටයුතු කළ යුතුය.
පියයුරු පිළිකාව යනු ජයගත නොහැකි රෝගයක් නොවන අතර, නිවැරදි දැනුම, කාලීන වෛද්‍ය ප්‍රතිකාර සහ පවුලේ මෙන්ම සමාජයේ ශක්තිය මත බොහෝ කාන්තාවන් මෙම තත්ත්වය සාර්ථකව පරාජය කර යළි සාමාන්‍ය ජීවිතයට පිවිස සිටිති. කාන්තා ඔබ සියලු දෙනා විසින්ම මේ පිළිබඳව සැලකිලිමත් වෙමින් පියයුරු පිළිකාවෙන් තොර නිරෝගී හෙට දවසක් උදෙසා අත්වැල් බැඳගැනීම වඩා වැදගත් වේ.
සටහන
කල්පනී ෂමල්කා




