ලෝක චෙස් ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සටහන් කරමින්, 46 වැනි FIDE ලෝක චෙස් ඔලිම්පියාඩ් තරගාවලියේ ‘සී’ කාණ්ඩයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා චෙස් කණ්ඩායම සමත්ව තිබේ.
තරගාවලියේ තවත් එක් වටයක් ඉතිරිව තිබියදීම, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම අභිමානවත් ජයග්‍රහණය කල් ඇතිවම තහවුරු කර ගැනීම විශේෂත්වයකි.
වට 10ක් අවසානයේ විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාව තරග ප්‍රසාද ලකුණු 14ක් රැස් කර ගනිමින් පෙරමුණ ගත් අතර, දෙවැනි ස්ථානයේ පසුවන කණ්ඩායම් ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 11ක් පමණි. අවසන් වටයේදී ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 2ක් බැවින්, කිසිදු කණ්ඩායමකට තවදුරටත් ශ්‍රී ලංකාව අභිබවා යාමට නොහැකි වේ.
මෙම ජයග්‍රහණයේ ඇති අගය තවත් වැඩි වන්නේ කණ්ඩායමේ සමස්ත ශ්‍රේණිගත කිරීමේ ඉහළ යෑමයි. තරගාවලිය ආරම්භයේදී 77 වැනි ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම ලෙස පිවිසි ශ්‍රී ලංකාව, වට 10ක් නිම වන විට ලෝකයේම ප්‍රබල කාන්තා කණ්ඩායම් අතර 18 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත් විය.
සටහන
කල්පනී ෂමල්කා




