2026 ICC කාන්තා නැගී එන කණ්ඩායම් කුසලාන (ICC Women’s Emerging Nations Trophy) ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය දෙනාගේ වටය ‘(Super Six) වටය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී ආරම්භ විය. එහි පළමු දිනයේදී සිම්බාබ්වේ සහ පාකිස්තාන කණ්ඩායම් පරාජය කරමින් කඩුලු 9 බැගින් වූ විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් සමත් වූ අතර, ස්කොට්ලන්තය පරදා කඩුලු 7ක ජයක් ලැබීමට නෙදර්ලන්තය සමත් විය.
සුපිරි හය දෙනාගේ වටයේ සිය පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 68කට සීමා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තවත් පන්දු 51ක් ඉතිරිව තිබියදී කඩුලු 9ක පහසු ජයක් වාර්තා කළහ. පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් ලබා සිටියදී, 7 වැනි පන්දුවාරයේදී කවීෂා දිල්හාරි විසින් මොඩෙස්ටර් මුපචික්වා (15) සහ චිපෝ මුගේරි-තිරිපානෝ (0) දවා ගනිමින් තරගයේ පාලනය ශ්‍රී ලංකාව දෙසට නතු කර ගත්තාය. කවීෂා දිල්හාරි ලකුණු 8කට කඩුලු 3ක් දවාගත් අතර, නිමාෂා මීපගේ (2/9) සහ සත්‍යා සංදීපනී (2/14) සිම්බාබ්වේ ඉනිම බිඳ දැමීමට දායක වූහ. ලකුණු 30ට කිසිවෙකු නොදැවී තිබූ සිම්බාබ්වේ ඉනිම, ලකුණු 9ක් තුළ කඩුලු 6ක් බිඳ වැටී 39/6ක් බවට පත්වූ අතර, පන්දුවාර 19.1කදී සියලු දෙනා ලකුණු 68කට දැවී ගියහ.
ලකුණු 69ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනියන් වූ විශ්මි ගුණරත්න සහ හසිනි පෙරේරා (22) පළමු කඩුල්ලට ලකුණු 61ක සබඳතාවක් ගොඩනැගූහ. හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 39ක් රැස් කළ විශ්මි ගුණරත්න පන්දුවාර 11.3කදී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් විය.
අනෙක් තරගවලදී නායිකා ගැබී ලුවිස් පන්දු 46කදී රැස් කළ ලකුණු 71 සහ ලුයිස් ලිට්ල්ගේ පන්දු යැවීම (3/21) හමුවේ පාකිස්තානය කඩුලු 9කින් පරාජය කිරීමට අයර්ලන්තය සමත් විය. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 18.4කදී ලකුණු 107කට දැවී ගිය අතර, ඔමයිමා සොහෙයිල් (35) සහ ටූබා හසන් (20) වැඩිම ලකුණු රැස් කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය වෙනුවෙන් ගැබී ලුවිස් (71) සහ ඇමී හන්ටර් (නොදැවී 37) පළමු කඩුල්ලට ලකුණු 103ක් එක් කළ අතර, පන්දුවාර 13.2කදී කඩුල්ලක් පමණක් දැවී ඔවුන් ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. මේ අතර ස්කොට්ලන්තය සමඟ පැවති තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම නායිකා කැතරින් බ්‍රයිස් (34) සහ කැතරින් ෆ්රේසර්ගේ (25) පිතිහරඹය මත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 154ක් රැස් කළේය.
ඊට පිළිතුරු ලෙස නෙදර්ලන්ත ආරම්භක පිතිකාරිනියන් වූ ෆීබි මොල්කන්බෝර් (43) සහ සාන්යා කුරානා (41) ලකුණු 87ක සබඳතාවක් ගොඩනැගූ අතර, නායිකා ස්ටෙරේ කාලිස් පන්දු 27කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 52ක් රැස් කරමින් පන්දුවාර 19.4කදී නෙදර්ලන්තයට කඩුලු 7ක තියුණු ජයක් හිමිකර දීමට සමත් විය.
මූලාශ්‍ර
ICC




