“නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ දැරියගේ සහ බිළිඳාගේ සුබසාධනය වෙනුවෙන් රජයේ මැදිහත්වීම ක්‍රියාත්මකයි”– කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය කියයි

0
15

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් සඳහන් කළේ, අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් පසු අලුත උපන් බිළිඳා සමඟ නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි දියණිය පිළිබඳ පුවත මවක ලෙසත්, මනුෂ්‍යයෙකු ලෙසත් තමා තුළ දැඩි කම්පනයක් සහ වේදනාවක් ඇති කළ බවයි. කෙසේ වෙතත්, මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් එම බාලවයස්කාර දැරියගේ මෙන්ම අලුත උපන් බිළිඳාගේ ද ජීවිත මේ වන විට අවදානමකින් තොර වීම සැනසීමට කරුණක් බව ඇය පවසයි.

එම දරුවන් දෙදෙනාගේම කායික හා මානසික සුවතාවය ආරක්ෂා කරමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සියලු පියවර නොපමාව ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට මේ වන විටත් උපදෙස් දී තිබේ.

මෙය හුදෙක් තනි සිදුවීමක් ලෙස තමන් නොසලකන බව පවසන අමාත්‍යවරිය, වර්තමාන සමාජයේ පවතින ආර්ථික, සමාජීය සහ දේශපාලනික සංකීර්ණතා හමුවේ දරුවන් විවිධ අවදානම්වලට ලක්වෙමින් සිටින බව සඳහන් කළාය. විශේෂයෙන්ම, දෙමාපියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යෝන්‍ය සබඳතාවය සහ විවෘත සන්නිවේදනය ක්‍රමයෙන් දුර්වල වීම මෙවැනි සිදුවීම්වලට ප්‍රධාන හේතුවක් වී ඇති බව ඇයගේ නිරීක්ෂණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස, දරුවන්ට වඩාත්ම ආරක්ෂිත යැයි හැඟිය යුතු පරිසරයන් තුළ, විශේෂයෙන්ම සමීපතමයන් අතර පවා ඔවුන් අනාරක්ෂිත වීමේ ප්‍රවණතාවක් වර්ධනය වී තිබේ.

කුමන තත්ත්වයක් යටතේ වුවද, “මම මගේ දෙමාපියන් සමඟ ආරක්ෂිතයි” යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ඇති කිරීමට සියලුම දෙමාපියන් කැපවිය යුතු බව අමාත්‍යවරිය අවධාරණය කළාය. නිවස තුළ ආරක්ෂිත පරිසරයක් ගොඩනැගීම සහ විවෘතව අදහස් හුවමාරු කර ගැනීමට ඉඩ සැලසීම මෙවැනි ඛේදනීය සිදුවීම් වළක්වා ගැනීමට බෙහෙවින් ඉවහල් වන බව ඇයගේ විශ්වාසයයි.

එමෙන්ම, අවදානම් සහගත හෝ අනාරක්ෂිත තත්ත්වයන්ට මුහුණ දෙන පුද්ගලයින් සමඟ ඍජුව හෝ වක්‍රව කටයුතු කරන සියලුම රාජ්‍ය ආයතන සහ පාර්ශ්වයන්, මහජනතාවට වඩාත් සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත ආයතන බවට පත්වීමේ අවශ්‍යතාව ද මෙම සිදුවීම මගින් යළිත් මතු කර තිබේ.

දරුවන් අවදානමට ලක්වන මෙවැනි සමාජ ගැටලු පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ නිරීක්ෂණයන්ට අනුව, අවදානම් තත්ත්වයන්ට පත්වන දරුවන් වෙනුවෙන් වඩාත් විධිමත් හා තිරසාර විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” (Alternative Care Policy) හඳුන්වා දීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන් කර ගැනීම ඇතුළු සියලු මූලික කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන් ආරක්ෂා කිරීම සමස්ත සමාජයේම සාමූහික වගකීමක් බැවින්, අපේ රටේ දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් වඩාත් සංවේදීව, අවධානයෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස අමාත්‍යවරිය සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here