කාන්තාවන් සහ ගැහැනු ළමුන් බිලියන 1.5ක් දේශගුණික අවදානම් කලාපවල – COP31 සමුළුවේදී වඩාත් ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස UN Women වෙතින් ඉල්ලීමක්

    0
    14

    “දේශගුණික අර්බුද යුගයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය” තේමා කරගනිමින් පසුගිය නොවැම්බර් 10 වනදා UN Women නිකුත් කළ ” Gender Equality in the age of climate crisis “ නම් නව වාර්තාවට අනුව, ලොව පුරා සිටින සෑම කාන්තාවන් සහ ගැහැනු ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ජීවත් වන්නේ දේශගුණික උපද්‍රව, අනාරක්ෂිත රැකියා සහ ගැඹුරු ස්ත්‍රී පුරුෂ අසමානතාවය එකට ගැටෙන කලාපවලය. රටවල්වලින් සියයට 73ක් කාන්තාවන් මුහුණ දෙන මෙම අවදානම් හඳුනාගෙන තිබුණද, ඒවාට පුළුල් ලෙස විසඳුම් ලබා දෙන්නේ රටවල් තුනකින් එකකට මඳක් වැඩි ප්‍රමාණයක් පමණක් වීම කනගාටුදායක තත්ත්වයකි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් UN Women හි විධායක අධ්‍යක්ෂිකා සීමා බහුස් කියා සිටියේ, ලොව පුරා කාන්තාවන් දැනටමත් තම ප්‍රජාවන් තුළ, විද්‍යාගාරවල, පාර්ලිමේන්තුවල සහ දේශගුණික අර්බුදයේ පෙරමුණේ සිටිමින් වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් වන සටනට නායකත්වය දෙමින් සිටින බවයි. කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට සමාන අයිතිවාසිකම්, සම්පත් සහ නායකත්වය දීමේ බලය ලබා දුනහොත්, අපේ ලෝකයට අත්‍යවශ්‍ය වී ඇති වෙනස ඇති කිරීමට ඔවුන් සහාය වනු ඇති බව ඇය අවධාරණය කළාය. වත්මන් ගමන් මග අනුව, ලෝකය අවම වශයෙන් සෙල්සියස් අංශක 1.8ක උෂ්ණත්වය ඉහළ යාමක් කරා ගමන් කරමින් සිටියි. මෙමගින් වඩාත් දරුණු නියඟ, ගංවතුර, ලැව්ගිනි සහ සුළි කුණාටු ඇති වී ප්‍රජාවන්ට සහ පරිසර පද්ධතිවලට ආපසු හැරවිය නොහැකි හානි සිදු කරයි. දේශගුණික අර්බුදයට අවම වශයෙන් වගකිව යුතු රටවල වෙසෙන කාන්තාවන් සහ ගැහැනු ළමුන් මෙමගින් දැඩි ලෙස පීඩාවට පත්වන අතර, ඔවුන්ට ආහාර නොමැති වීමේ සිට ඔවුන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය දක්වා ජීවිතයේ සෑම අංශයකටම මෙය බලපා තිබේ.

    දේශගුණික විපර්යාස කාන්තාවන්ගේ ආර්ථිකයට සහ එදිනෙදා ජීවිතයට ඍජුවම පහර දෙන ආකාරය මෙම දත්ත මගින් මනාව පැහැදිලි වේ. රටවල් 24ක දත්තවලට අනුව, සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් ඉහළ යාම නිසා පිරිමින්ට වඩා සියයට 34කින් වැඩි මුළු ආදායමක් කාන්තාවන්ට අහිමි වේ. අස්වැන්න අසාර්ථක වූ විට කෘෂිකාර්මික නොවන වෙනත් රැකියාවලට යොමු වීමට හෝ සංක්‍රමණය වීමට ඔවුන්ට ඇති සීමිත හැකියාව මීට ප්‍රධාන හේතුවයි. එමෙන්ම, ජලය සහ ඉන්ධන රැස් කිරීම මෙන්ම ආපදාවලින් පසු පවුලේ සාමාජිකයන් රැකබලා ගැනීම වැනි වැටුප් නොලබන වගකීම් ද කාන්තාවන් මත තවදුරටත් පැටවෙමින් තිබේ. තම නිවෙස් පරිශ්‍රයේ ජල පහසුකම් නොමැති බිලියන 1.8ක ජනතාවගෙන්, නිවාස තුනෙන් දෙකකම ප්‍රධාන වශයෙන් ජලය රැස් කරන්නේ කාන්තාවන් වන අතර, ඉහළ විමෝචන තත්ත්වයක් යටතේ 2050 වන විට ජලය රැස් කිරීමට වැය කරන කාලය සියයට 30කින් පමණ ඉහළ යා හැකිය.

    පාරිසරික අර්බුදය සමාජයීය ඛේදවාචකයන් ද නිර්මාණය කරමින් සිටී. ජීවනෝපායන් අහිමි වීම, අවතැන් වීම සහ සම්පත් හිඟය නිසා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ යන අතර, රටවල් 14ක සිදුකළ අධ්‍යයනයන්ට අනුව දීර්ඝ කාලීන දරුණු නියඟයන්ට නිරාවරණය වීම, නව යොවුන් වියේ ගැහැනු ළමුන්ට සහ තරුණ කාන්තාවන්ට එරෙහි ලිංගික හිංසන අවදානම සියයට 21කින් ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය දශකය තුළ ළමා විවාහ අඩු කිරීමේ ප්‍රගතිය දෙගුණයකින් පමණ වේගවත් වුවද, දේශගුණික විපර්යාස එම ප්‍රගතිය ආපසු හැරවීමේ තර්ජනයක් එල්ල කරයි. රටවල් 46කින් 24කම, තෙත් පරිසරවලට වඩා වියළි, ශුෂ්ක පරිසරවල ළමා විවාහ අනුපාතය ඉහළ මට්ටමක පැවතීම ඊට කදිම නිදසුනක්.

    තාක්ෂණික දියුණුවත් සමඟ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ලොව පුරා බලශක්ති ඉල්ලුම ඉහළ නංවමින් සිටියද, තවමත් කාන්තාවන් සහ ගැහැනු ළමුන් මිලියන 326කට විදුලි බලයවත් නොමැත. එපමණක් නොව, දේශගුණික තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ද කාන්තාවන් බොහෝ දුරට බැහැර කර ඇති අතර, ගෝලීය වශයෙන් බලශක්ති ක්ෂේත්‍රයේ තීරණ ගැනීමේ තනතුරුවලින් කාන්තාවන් දරන්නේ සියයට 12ක් පමණි. තම ප්‍රජාවන් සහ පරිසරය ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන කාන්තා පරිසර ආරක්ෂකයින්ට හිරිහැරවලට සහ මරණ තර්ජනවලට පවා මුහුණ දීමට සිදුවීම අතිශය කනගාටුදායකය. මේ අතර, සංවර්ධනය වෙමින් පවතින රටවලට ලැබෙන්නේ ඔවුන්ට අවශ්‍ය දේශගුණික මූල්‍ය ආධාරවලින් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් වන අතර, එම ආධාරවලින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයට ප්‍රමුඛත්වය දෙන්නේ සියයට 4ක් පමණි. එහෙත් මේ අඳුරු චිත්‍රය මැද බලාපොරොත්තුවේ සේයාවක් ද දැකිය හැකිය. නිවැරදි ආයෝජන සිදු කළහොත් 2035 වන විට අලුතින් බිහිවන හරිත රැකියාවලින් සියයට 66ක් දක්වා කාන්තාවන්ට හිමිකර ගත හැකි බවත්, එමගින් ඔවුන්ට අතිරේක රැකියා මිලියන 68ක් ලැබෙනු ඇති බවත් මෙම වාර්තාව පෙන්වා දෙයි.

    එබැවින්, මෙවර COP31 සමුළුවේදී UN Women ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ලාභයට වඩා මිනිසුන්ට සහ පෘථිවියට මුල් තැන දෙන ආර්ථිකයන් කරා ගමන් කිරීම සඳහා දේශගුණික ක්‍රියාමාර්ගවල හදවත බවට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා අයිතිවාසිකම් පත් කරන ලෙසයි. පිරිසිදු හා තිරසාර පරිසරයකට ඇති අයිතිය තහවුරු කිරීම, පරිසරය වෙනුවෙන් ජීවිත පරදුවට තබන කාන්තා මානව හිමිකම් ආරක්ෂකයින් සුරැකීම සහ තීරණ ගැනීමේ මේසයේදී කාන්තාවන්ට සැබෑ බලයක් ලබා දීම මෙහිදී අත්‍යවශ්‍ය වේ.

    දේශපාලනික කැපවීම් දේශගුණික අර්බුදයේ පෙරමුණේ සිටින කාන්තාවන් සහ ගැහැනු ළමුන් වෙනුවෙන් සැබෑ වෙනසක් බවට පත් කිරීම සඳහා, නව ‘බෙලෙම් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම’ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ලබා දිය යුතු බවද එම සංවිධානය අවධාරණය කරයි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here