ශ්‍රී ලංකා පොලිස් සේවයේ කාන්තා නියෝජනය තවදුරටත් සක්‍රීය කරමින්, දීර්ඝ කාලයකට පසුව නවක කාන්තා පොලිස් කොස්තාපල්වරියන් පිරිසක් රාජකාරියට එක්කර ගැනීමේ සුවිශේෂී පියවරක් ඊයේ එනම් නොවැම්බර් 02 වනදා තබනු ලැබීය. 2022 වසරෙන් පසුව ශ්‍රී ලංකා පොලිස් සේවයට බඳවා ගන්නා ලද ප්‍රථම කාන්තා නිලධාරිනියන් බලඇණිය ලෙස, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 312 දෙනෙකු සිය මූලික පුහුණුව සඳහා කළුතර පොලිස් විද්‍යාලය වෙත පැමිණීම එදින සිදුවිය.
දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින් සමස්ත ලංකා පදනමින් තේරී පත්වූ මෙම නවක නිලධාරිනියන්, කළුතර පොලිස් විද්‍යාලයේදී මාස ගණනාවක විධිමත් පුහුණු පාඨමාලාවකට යොමු කිරීමට නියමිතය.
මෙම පුහුණු කාල සීමාව තුළදී නීතිමය දැනුම, ප්‍රායෝගික පොලිස් රාජකාරි ක්‍රමවේද, ශාරීරික යෝග්‍යතාව සහ ආපදා කළමනාකරණය පිළිබඳව ඔවුන්ට පුළුල් අත්දැකීම් ලබා දෙනු ඇත.
තවද නීතිය සුරකිමින්, රටටත් මහජනතාවටත් සේවය කිරීමට කළුතරින් සිය මුලපිරීම තබන මෙම 312 දෙනාගෙන් සමන්විත නවක නිලධාරිනියන් බලඇණිය වර්තමාන මහජන සේවයට අත්‍යවශ්‍ය වන මහජන සම්බන්ධතා, නායකත්ව කුසලතා සහ පෞරුෂ වර්ධනය වැනි විශේෂිත ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සන්නද්ධ කරවීමට ද පියවර ගෙන තිබේ. එමඟින් මානව හිමිකම් කෙරෙහි සංවේදී, වඩාත් කාර්යක්ෂම සහ ගෞරවනීය සේවයක් මහජනතාව වෙත ලබා දීමට පුහුණුව හරහා අපේක්ෂා කෙරේ.
වර්තමාන සමාජය තුළ කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන විවිධ අපරාධ හා හිංසනයන් වැළැක්වීම උදෙසා පොලිස් සේවය තුළ කාන්තා නිලධාරිනියන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය සාධකයකි.



සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්‍රය ශ්‍රී ලංකා පොලිසිය




