ආසියානු නෙට්බෝල් ශූරතාවලියට සූදානම් වන ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට පුහුණුවක් ලබා දීමේ අරමුණින් නවසීලන්ත විශ්වවිද්‍යාල නෙට්බෝල් කණ්ඩායම සමඟ පැවති පළමු තරගයෙන් ලකුණු 62- 54ක ජයක් නවසීලන්ත ලින්කන් විශ්වවිද්‍යාල පිල හිමිකර ගත්තේය.
ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේ ඊයේ පැවති මේ තරගයේ පළමු කාර්තුවේදී නවසීලන්ත විශ්වවිද්‍යාල පිල ලකුණු 15 – 11ක් ලෙස ඉදිරියෙන් සිටි අතර, ශ්‍රී ලංකා පිලෙන් අවස්ථා 3කදී පන්දුව උදුරා ගැනීමට සමත්වීමෙන් ලකුණු පරතරය වැඩි විය.
දෙවැනි කාර්තුවේදී නවසීලන්ත පිල ලකුණු 16 – 10ක් ලෙස ඉදිරියට පැමිණි අතර, තරගයේ පළමු භාගය නිමාවෙද්දී ලකුණු 31 – 21ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ අතර, නවසීලන්තය ලකුණු 15ක් හා ශ්‍රී ලංකාව ලකුණු 14ක් විය. අධික උණුසුමත් සමඟ එන්න එන්නම වෙහෙසට පත්වූ නවසීලන්ත ක්‍රීඩිකාවන්ගේ වේගය අඩුවීමත් සමඟ සිව්වැනි කාර්තුවේදී දෙපිලම ලකුණු 18 බැගින් එක්කර ගැනීමට සමත් වූහ.
දෙවැනි කාර්තුව නිමා වීමට මිනිත්තු 6ක් තිබියදී ගෝල් ෂූටර් තිසාලා ඉවතට ගෙන 17 හැවිරිදි තුමාල්කා ඒකනායක එම ස්ථානයට කැඳවීමට පුහුණුකාරිණී සොමිතා අල්විස් මහත්මිය තීරණය කළද මිනිත්තු දෙකක් ගතවෙද්දී යළි තිසාලාට ගෝල් ෂූටර් ස්ථානය හිමි විය. දෙවැනි කාර්තුවේදී තිළිණි වත්තේගෙදර වෙනුවට රශ්මි දිව්‍යාංජලී හා චලනි නීෂා වෙනුවට, ගෝල් කීපර් ස්ථානයේ අංජලිකා තිලකරත්න ක්‍රීඩා කළහ.
නවසීලන්ත විශ්වවිද්‍යාල පිල සමඟ තරගයේදී මුල් කණ්ඩායම ලෙස ගෝල් ෂූටර් තිසලා අල්ගම (නායිකා), වින්ග් ඇටෑක් තිළිණි වත්තේගෙදර (උප නායිකා), ගෝල් ඇටෑක් දුලංගි වන්නිතිලක, ගෝල් ඩිෆෙන්ස් මල්මී හෙට්ටිආරච්චි, සෙන්ටර් ගයාන්ජලී අමරවංශ, ගෝල් කීපර් ගයනි දිසානායක හා වින්ග් ඩිෆෙන්ස් චලනි නීෂා ක්‍රීඩා කළහ.
ආසියානු නෙට්බෝල් ශූරතාවලිය ලබන අගෝස්තු මාසයේ හොංකොංහි පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසලතා වැඩිදියුණු කර ගැනීමට නවසීලන්ත විශ්වවිද්‍යාල පිල සමඟ තරගාවලිය පිටිවහලක් වනු ඇතැයි ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ අපේක්ෂාව වේ.
තරග 6කින් සමන්විත ශ්‍රී ලංකා – ලින්කන් විශ්වවිද්‍යාල නෙට්බෝල් කණ්ඩායම් අතර මීළඟ තරගය අද පෙරවරු 10ට ගාල්ල දඩල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, හෙට (3) පස්වරු 5ට හා 4දා පෙරවරු 9ට මහනුවර දිගන ක්‍රීඩාංගණයේදී හා අවසන් තරග දෙක මේ මස 7දා පස්වරු 3ට කැලණිය විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී, 9දා පෙරවරු 9ට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ප්‍රින්ස් ගුණසේකර
ගාල්ල දඩල්ල
ක්‍රීඩාංගණයේ සිට…




