චීනය – ශශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ පාලම වෙන්න මම කැමැතියි මාධ්‍යවේදිනි/ රංගන ශිල්පිනි ‘වරුණි’ ජ්‍යෙං සොන් යින්

    0
    13

    දරුවෙකු බහ තෝරන්නට පටන් ගත් දා සිට කතා කරන්නට හුරු වන්නේ තම උපන් රටේ මව් භාෂාවයි. පියවරෙන් පියවර සිප් සතර හදාරන්නට පටන් ගත්විට ලෝකයේ වෙනත් භාෂා කෙරෙහි හිත ඇදීයාම අරුමයක් නොවේ.ලෝකයේ භාවිතා වන ප්‍රධානම භාෂාව ඉංග්‍රීසි භාෂාවයි. ඒ නිසා මව්පියන් තම දරුවන්ව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට හුරුකරන්නේ කුඩා කල සිටමය.

    ශී‍්‍ර ලාංකිකයන් වෙනත් භාෂාවන් ඉගෙනුමට උනන්දු වෙනවා සේම සිංහල නොවන ජාතිකයන් සිංහල භාෂාව ඉගෙන ගැනුමට පෙලඹීම අගය කළ යුතුය. විශේෂයෙන් වර්තමානයේ වෙනත් රටවල වෙසෙන ජාතිකයන් මෙරටට පැමිණ සිංහල ඉගෙන ගැනීමේ ප්‍රවණතාවය ඉහළ ගොස් ඇත. ඒ අතර චීනය, ජපානය වැනි රටවලින් සිංහල ඉගෙනුමට මෙරට විශ්වවිද්‍යාලවලට පැමිණෙන්නට පටන් ගෙන ඇත.

    චීනය යනු ශශ්‍රී ලංකාවට ළෙන්ඟතු රටකි. ලෝකයේ බලවත් රාජ්‍යයන් අතර සිටින චීනය අතීතයේ සිට ශශ්‍රී ලංකාව සමඟ ඉතා සුහදශීලීව ගණුදෙණු කර ඇත. අදට ද එය එසේමය. චීන ජාතිකයන්ද ලංකාව කෙරෙහි දක්වන සුහදශීලි බව අතිමහත්‍ ය. ඔවුහු අපේ රටට, අපේ සංස්කෘතිකයට දැඩි ඇල්මක් දක්වති. ශශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවකින් පසුවන, සිංහල ඉතා දක්ෂ ලෙස හසුරුවන තරුණියක් තම ජංගම දුරකථනය ඔස්සෙ සරසවිය සමඟ කතා බහට එක්වූයේ, සරසවිය සමඟ ළෙන්ඟතු ආදරණීය මාධ්‍ය සහෝදරියක් වෙන චවිකා ගුණසේකර නිසාය. එම චීන තරුණිය ඉතා සිත්ගන්නා අයුරින් සිංහල බස හසුරවන්නියකි. ඇය ජ්‍යෙං සොන් යින්. ඇය මාධ්‍යවේදිනියකි.. රංගන ශිල්පිනියකි. ඇයට උරුම වූ චීන භාෂවෙන් නමට ඇය පසුකාලයේ තවත් නමක් ඈඳා ගත්තාය. එහි තිබෙන විශේෂත්වය වන්නේ එය සිංහල නමක් වීමයි. සරසවිය සමඟ කතාබහ අතරේදි ඇය ඒ නම භාවිතා කිරීමට මුල් වූ හේතුවද සඳහන් කළාය. ඇයට සිංහල භාෂාව ලිවීමට, කියවීමට සහ කතා කිරීමට හැකියාව ඇත. චීනයේ ටෙලි නාට්‍ය කලාවට අලුතින්ම ඇතුළත් වූ සංකල්පයකට අනුව නිර්මාණය වූ Love in Beijing නාට්‍යයේ ඇය අපූරු භූමිකාවක් රඟ දක්වන්නීය.

    Love in Beijing යනු සාමාන්‍ය රූපවාහිනී නාට්‍යයක් නොවේ. එය වර්තමානය වනවිට චීනයේ වේගයෙන් ජනප්‍රිය වන ඉතා කෙටි නාට්‍ය සංකල්පයකි. ඒ ගැන ජ්‍යං සොන් යිං ඉතා අපූරුවට විස්තර කළාය. එසේම ඇය සිංහල භාෂාවට උනන්දුව දැක්වූ දා සිට මේ වන තෙක් පැමිණි ගමන් මඟේ සියලු විස්තර සරසවියට මෙසේ ඉදිරිපත් කළාය.

    මම ඉපදුණේ දකුණු චීනයේ ගුයිලිං (Guilin) නගරයේ. චීනයේ බෙයිජිං, ෂැංහයි වගේ නවීන නගරයක් නෙවෙයි ගුයිලිං කියන්නේ. ඇත්තටම ඒක කුඩා නගරයක්. ඒත් එහි සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න අමාරුයි. කඳුහෙල් මිටියාවත් වලින් පිරි ස්වභාවික සුන්දරත්වයෙන් සපිරි ප්‍රදේශයක් තමයි ගුයිලිං . මම පාසල් ගියෙත් ගුයිලිං නගරයේම පාසලකට. පුංචි කාලයේ මම කලාවට එතරම්ම සම්බන්ධ වෙලා සිටියේ නැහැ. ඒත් පොඩි කාලයේ වයලීන් වාදනය නම් ඉගෙන ගත්තා. Middle school සහ High school කාලයේ, අපේ පාසලේ ඉංග්‍රීසි නාට්‍ය කළා . ඒවා කළේ කණ්ඩායම් ලෙසින් එකතු වෙලා. සාමාන්‍යයෙන් මම තමයි එහි අධ්‍යක්ෂවරිය. මම ඒකට ගොඩාක් ආසයි. ආපි ඒ නාට්‍ය කළේ හරිම විනෝදෙන්. විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයෙන් පස්සේ මම අගනුවරට ආවා. එහිදී බෙයිජිං විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ සිංහල අංශයෙන් මගේ ප්‍රථම උපාධිය ලබා ගත්තා.

    මම ඉගෙන ගත්ත විශ්වවිද්‍යාලයේ භාෂා සියයකට වඩා උගන්වනවා. සිංහල භාෂා අංශයේ අපට ඉගැන්වීම් කළේ, සිංහල දන්න ගුරුවරු. මේ විශ්වවිද්‍යාලයට දිගු ඉතිහාසයක් තියෙනවා. එහි සිංහල අංශයක් ස්ථාපිත වී තිබීම සිංහල විෂය ඉගෙන ගැනීමට ලොකු පෙලඹවීමක් ඇතිවුණා.1961 දී චීන ශශ්‍රී ලංකා මිත්‍රත්වයට විශාල දායකත්වයක් ලබා දුන් එවකට අගමැතිව සිටි චෞ එන් ල මහතාගේ උපදෙස් යටතේ, සිංහල ඇතුළු ආසියානු සහ අප්‍රිකානු භාෂා අංශ කිහිපයක්ම මේ විශ්වවිද්‍යාලයේ පිහිටුවීමට පියවර ගෙන තිබුණා. පසුව 1994 දී අගමැති චෞ එන්ලෛමහතා ශශ්‍රී ලංකාවේදී සිදුකළ සංචාරයේදී සිංහල භාෂාවෙන් කතාව කළේ බෙයිජිං විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ඉගෙනුම ලැබූ පළමු සිසුවා විසින්. ඒ කතාව මගේ සිතේ ආශ්වාදයක් ඇතිකළා. ඒ වගේම මේ සිංහල අංශයේ පැරණි පෙළ පොතක මෙසේ වැකියක් ලියා තියෙනවා.

    ” සිංහල ඉගෙන ගන්නට අපිට මඟ පෙන්වූ ගෞරවනීය චෞ එන් ලෛ අගමැතිතුමාට මෙය කැපවේ.

    එයින් මට පෙනී ගියා චීනය ශශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය කොතෙක්ද කියා. ඒ මිත්‍රත්වයට දායක වීමේ බලාපොරොත්තුවක් මගේ හිතේ ඇතිවුණා. සිංහල භාෂාව ඉගෙන ගැනීමට මෙහි පැමිණි පැරණි පරම්පරාවල කතා ගැනත් මම අහල තියෙනවා. ඒ කාලේ ඔවුන් සිංහල භාෂාව ඉගෙන ගෙන තිබුණේ ලංකාවෙන් ගෙන්වා ගත් සිංහල පොත් වලින් සහ සිංහල ශබ්ද කෝෂයෙන්. ඒ අතින් අපි වාසනාවන්තයි. මම ඉගෙන ගත් කාලයේ අපට අන්තර්ජාල ඔස්සේ තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබුණා. විශේෂයෙන් සිංහල හැදෑරීමේදී ඊට අදාළ පහසුකම් සියල්ල බෙයිජිං විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ නිසා චීන ජාතික සිසුන්ට ක්‍රමවත්ව සිංහල ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම පුහුණු ශිෂ්‍යාවක් විදිහට 2016 වසරේ මම ලංකාවට ඇවිත් කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාස හයක් සිංංහල භාෂාව ඉගෙන ගත්තා. මට සිංහල හොඳට ලියන්නත්, කතා කරන්නත්, කියවන්නත් පුළුවන්.

    විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයෙන් පස්සේ මට චීන මාධ්‍ය සාමූහයේ CGTN සිංහල සේවයට එක් වෙන්න අවස්ථාව ලැබුණා. දැන් මම එහි මාධ්‍යවේදිනියක් විදිහට රාජකාරි කරනවා.

    මගේ නමට සිංහල නමකුත් දාගත්තා. ‘වරුණි’ එක සිදුවුණේ මෙහෙමයි. අපි සිංහල භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න කොට අපේ ගුරුවරිය අපිට සිංහල නම් වගයක් දීලා අපිට නමක් තෝරා ගන්න කව්වා. හරියට තේරුමක් වත් නොදන තමයි මම ‘වරුණි’ කියන නම දාගත්තේ.

    මම මාධ්‍යවේදිනියක් විදිහට කටයුතු කරමින් සිටින විට තමයි රංගවේදිනියක් වීමට ලැබුණේ. මම Love in Beijing නාට්‍යයේ රඟපානවා. එය Micro Drama එකක්. එය සාමාන්‍ය රූපවාහිනී නාට්‍යයක් නෙවෙයි. එය දැන් චීනයේ වේගයෙන් ජනප්‍රිය වන ඉතා කෙටි නාට්‍ය සංකල්පයක්. මේ Micro Drama සංකල්පයට අනුව නිර්මාණය වුණු කෙටි නාට්‍ය මෑත වසර කිහිපය ඇතුළත චීනයේ වාණිජමය වශයෙන් ඉතා සාර්ථක වුණා. ඒ වගේම ගෝලීය වශයෙනුත් මේ කෙටි නාට්‍ය ක්‍රමයෙන් ඉහළ ජනප්‍රියතාවයක් ලබා ගනිමින් සිටිනවා. වර්තමානයේ හැමෝම වගේ කාර්‍යබහුලයි. විවේකය සීමා සහිතයි. ඒ නිසා Micro Drama සංකල්පය මේ වගේ කාලයකට හොඳීන්ම ගැළපෙනවා.

    Micro Drama වල මූලික ලක්ෂණය එහි කලාත්මක වටිනාකම නෙවෙයි. කාර්‍යබහුල ජීවන රටාවක් ගත කරන ජනතාවට ලබාදෙන සැහැල්ලු බව සහ සතුට තමයි එහි ප්‍රධානම ලක්ෂණය. මේ නාට්‍යවලින් ඉදිරිපත් කරන කතා හරිම සරලයි වගේම සෘජුයි. ඒ නිසා ඒවා සියලු වයස්වල සහ ඕනෑම වෘත්තියක නිරත වන අයෙකුට රස විඳීන්නත් පුළුවන්. ඒ වගේම ඕනෑම වේලාවක ජංගම දුරකතනයෙන් පවා ඉතා පහසුවෙන් නැරඹිය හැකි වීමත් නිසා වැඩි ප්‍රේක්ෂකයන් පිරිසක් අතර ජනප්‍රියතාවය වේගයෙන් ඉහළ ගිහින් තියෙනවා. Micro Drama සාමාන්‍යයෙන් Portrait ආකාරයට මාධ්‍ය වේදිකාවල විකාශය කෙරෙනවා. හැම කථාංගයක්ම (episode) විනාඩි 15 ට වඩා වැඩි වෙන්නේ නැහැ. ඇතැම් කොටස් විනාඩියකටත් අඩුයි. කතාවක් හිමින් ගලාගෙන යනවා වෙනුවට මේ නාට්‍යවල කතාව බොහෝම වේගයෙන් ගලාගෙන යනවා. ඒ නිසා Micro Drama සංකල්පයට අපිත් කැමතියි. ඒ සඳහා තිබෙන ජනප්‍රියතාවය සහ මේ Micro Drama වල තිබෙන සුවිශේෂි අත්දැකීම ලංකාවේ මිතුරන්ට ලබා දෙන්න අපි කැමතියි.

    Love in Beijing නාට්‍යයේ මම රඟපාන්නේ ආදරයට අධිපති දෙවියන්ගේ සහායිකාව විදිහට. ඒ චරිතය හැටියට මම මුලින්ම ටිකක් ආඩම්බර කෙනෙක්. සැබෑ ආදරය ගැන තේරුමක් නැහැ. මම හිතුවා ආදරය රැඳීලා තියෙන්නේ පෙනුම පවුලේ තත්වය සහ අධ්‍යාපනය මත කියලා. හැබැයි මම මනුෂ්‍ය ලෝකයට ගිහිල්ලා බලද්දි ඇත්ත තත්වය තේරුම් ගත්තා. අපේ නාට්‍ය බලන අය ගොඩක් ඉන්නවා. උණුසුම් ප්‍රතිචාර ලැබෙනවා. ඒ ගැන විශේෂ කතා බහකුත් ඇති වුණා. අපේ නාට්‍යය සාම්ප්‍රදායික එකක් නෙවෙයි. මේ ගැන හොඳ ප්‍රතිචාර තිබුණා. ඒ අතර ධනාත්මක නොවන ප්‍රතිචාරත් තිබුණා. ඒ අදහස් අනුව අපේ නිර්මාණ අඛණ්ඩව කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

    අපේ CGTN සිංහල සේවය හැම අවුරුද්දේම ශශ්‍රී ලංකාවේ ශිල්පීන් ශිල්පිනියන් හෝ සමාජ මාධ්‍යයේ වඩාත් ජනප්‍රිය අයට චීනයට ආරාධනා කරනවා. කලින් අපි සාරංග , දිනක්ෂි සහ ලෝචිත් එක්ක චීනයේ රූපවාහිනී සංචාරක වැඩසටහන් කිහිපයක් කළා . ගිය අවුරුද්දේ අපි අලුත් දේවල් කරන්න හිතුවා. Micro Drama එහෙමත් නැත්නම් ක්ෂුද්‍ර නාට්‍ය කියන්නේ දැන් චීනයේ හරිම ජනප්‍රිය ප්‍රවණතාවයක්. ඒ නිසා අපි හිතුවා ශනුද්‍රි ප්‍රියසාද් සම්බන්ධ කරගෙන මේ වගේ අලුත් දෙයක් කරන්න.

    මම තුන් වතාවක් ලංකාවට ඇවිත් තියෙනවා. 2016 වසරේදි මම පුහුණු ශිෂ්‍යාවක් විදිහට කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මාස හයක් ඉගෙන ගෙන තියෙනවා. ඒවගේම 2017 වසරේ ස්වේච්ඡා සංවිධානයක් පිහිටුවීම වෙනුවෙන් යාළුවෝත් එක්ක ලංකාවට ආවා. ඊට පසුව 2024 දී CGTN සිංහල සේවයේ නිල සංචාරයක් සඳහා ලංකාවට ආවා. ලංකාවේ තියෙන සුන්දරත්වය මම උපරිමයෙන් වින්දා. ඒ වගේම ලංකාවේ ජීවත් වන මිනිසුන්ගේ කරුණාවන්ත බව, ඔවුන්ගේ ආගන්තුක සත්කාර මම හොඳීන් වින්දා. ගෙවුණු අවුරුදු කිහිපය ඇතුළත සජීව වැඩසටහන්, සමාජ මාධ්‍ය වේදිකාව හරහා මම ශශ්‍රී ලාංකිකයන් සමඟ සමීපව කටයුතු කළා. ඒ සෑම දෙයකින්ම මට ලංකාව පිළිබඳ තිබූ අවබෝධය වැඩිවුණා. ලංකාවේ ආහාර පාන ඇඳුම් පැලඳුම් වලටත් මම හුරු වුණේ නිරායාසයෙන්මයි. ශශ්‍රී ලංකාව සමඟ සුන්දර බැඳීමක් ගොඩනඟා ගැනීමට පුළුවන් වීම අතින් මම ඇත්තටම ගොඩක් වාසනාවන්තයි.

    විශ්වවිද්‍යාලයේදී විෂයයක් ලෙස මෙ නුහුරු භාෂාව තෝරා ගැනීමේ සිට, අද මම නිරත වන මේ රැකියාව දක්වා පැමිණි ගමන් මඟ ගැන තියෙන්නේ සතුටක්.

    මගේ තාත්තා රාජ්‍ය සමාගමක සේවය කරන්නේ. මගේ අම්මා විශ්වවිද්‍යාල මහාචාර්යවරියක්.ඒ වගේම මගේ සැමියා බැංකු නිලධාරියෙක්. ඒ සැමගෙන් මගේ වැඩ කටයුතු වලට ලැබෙන්නේ ලොකු සහයක්.

    Love in Beijing නාට්‍ය කලාට පස්සේ ඒ වගේ අලුත් සංකල්පයන් කරන්න මට තවත් ආසා හිතුණා. ඉදිරියේදීත් Micro Drama කරන්නත් කැමැත්තෙන් ඉන්නවා. ඊට අමතරව මම තවම සිනමා නිර්මාණයකට දායක වෙලා නැහැ. දවසක ඒ හීනයත් සැබෑ කරගන්න බලාපොරොත්තු වෙනවා.ඉදිරියේදී මගේ නිර්මාණවලින් සැබෑ චීනය ගැන ලංකාවේ යාළුවන්ට කියන්න, චීනයේ සැබෑ සංවර්ධනය , චීනයේ නිවැරදි ප්‍රතිරූපය ගැන ඔවුන්ට කියා දෙන්න මම කැමතියි. ඒ වගේම අපේ රටවල් දෙක අතර අන්‍යෝන්‍ය අවබෝධයත්, මිත්‍රත්වයත් ශක්තිමත් කරන පාලමක් වෙන්න මම බලාපොරොත්තු වෙනවා.

    ශශ්‍රී ලංකාව කියන සුන්දර භූමිය සමඟ තිබෙන බැඳීම මගේ දෛවයේ ලියලා තියෙනවා කියලා මට දැනෙනවා.

    නයනාංජලි දෙහිපිටිය

    sarasaviya

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here