යෂ්ටියෙන් නැගිටින 79 හැවිරිදි ග්ලෙන් ක්ලෝස්ගේ සිනමා පිපාසය

    0
    7


    පසුගිය ඔක්තෝබර් 15 වැනිදා නිව්යෝර්ක් නුවර ‘La Bola Negra’ මංගල දර්ශනයට එක්වූ ප්‍රවීණ රංගවේදිනී ග්ලෙන් ක්ලෝස් දුටු බොහෝ දෙනෙකුගේ දෑස් යොමුවූයේ ඇගේ අත රැඳි සැරයටිය දෙසටයි.

    තම සෞඛ්‍යය ගැන විමසිලිමත් වූ ලොව පුරා රසිකයින් වෙනුවෙන් වීඩියෝ පණිවිඩයක් නිකුත් කළ ඇය කියා සිටියේ, තම වම් උකුල් ඇටය පූර්ණ බද්ධ කිරීමකට ලක් කළ බවයි. “ඉදිරියට එන ඕනෑම අභියෝගයකට සක්‍රීයව පැනගන්න පුළුවන් මට්ටමට මගේ ශරීරය තියාගන්නයි මට ඕනෑ වුණේ,” යැයි ඇය එහිදී පැවසුවාය.


    දැනට යෂ්ටියක පිහිටෙන් ඇවිද ගියද තමන් ඉතා යහපත් මානසික සහ ශාරීරික සුවයෙන් පසුවන බව ක්ලෝස් පවසන්නීය. ඉදිරි සති කිහිපය විවේකයෙන් ගත කරනවා වෙනුවට ජාත්‍යන්තර සංචාර ගණනාවක් වෙනුවෙන් ඇය වෙන් කර තිබේ.

    ඇය ආත්මවිශ්වාසයෙන් යුතුව අවධාරණය කළාය.


    ඔක්තෝබර් 26 වැනිදා ඇය ලන්ඩන් බලා පියාසර කරන්නේ ‘The Hunger Games: Sunrise on the Reaping’ සිනමාපටයේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙනි. නොවැම්බර් 20 තිරගත වන මෙම පෙරවදන තුළ ඇය ඩෲසිලා සික්ල්ගේ චරිතය නිරූපණය කරයි.

    මෙම චරිතය ඇයට හිමිවූයේ අනපේක්ෂිත ලෙස ඇය විසින්ම චිත්‍රපට නිෂ්පාදක මණ්ඩලය වෙත යොමුකළ ඊමේල් පණිවිඩයකිනි. “ග්ලෙන් ක්ලෝස් වැනි අසහාය නිළියක් තමන්ගේ කැමැත්ත මෙලෙස කෙළින්ම ප්‍රකාශ කිරීම අපව විශ්මයට පත් කළා,” යනුවෙන් නිෂ්පාදක නීනා ජේකබ්සන් පවසා තිබිණි.

    ලන්ඩන් සංචාරය නිමවා නිව්යෝර්ක් එන ඇය, රයන් මර්ෆිගේ අධ්‍යක්ෂණයෙන් එළිදක්වන ‘All’s Fair’ දෙවන අදියරේ මංගල දැක්මට එක්වන්නේ නීතිඥ ඩිනා ස්ටැන්ඩිෂ් ලෙසිනි.


    ‘Fatal Attraction’, ‘Dangerous Liaisons’ සහ ‘The Wife’ ඇතුළු විශිෂ්ට සිනමාපට වෙනුවෙන් අට වතාවක් හොඳම නිළිය ලෙස ඔස්කාර් සම්මානයට නිර්දේශ වූවද, තරගකාරී සම්මානයක් දිනාගැනීමට ඇයට අවස්ථාව ලැබුණේ නැත.

    කෙසේ වෙතත්, සිනමාවට කළ අසීමිත මෙහෙවර අගයමින් නොවැම්බර් 15 වනදා ඇකඩමි ආයතනය (Governors Awards) මගින් ඇයට ගෞරව ඔස්කාර් සම්මානය පිරිනැමීමට නියමිතය. සුප්‍රකට අධ්‍යක්ෂ රිඩ්ලි ස්කොට් සහ ජ්‍යෙෂ්ඨ සජීවිකරණ ශිල්පී ෆ්ලොයිඩ් නෝමන් ද ඇය සමඟ එදින ගෞරව සම්මානයෙන් පිදුම් ලබති.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here