ජීවිතයක් බේරාගන්න තමන්වම කැප කළ ෆෙලීෂියා

    0
    10

    මිත්‍රත්වය ඇතැම් විට ජීවිතයත් මරණයත් අතර සටනකදී ප්‍රාණයම වුණත් පූජා කරන්න හැකි වෙන තරමටම උතුම් දෙයක්. ෆෙලීෂියා සහ ඇගේ හොඳම යෙහෙළිය වන කැසී අතර බැඳීම කියාපාන්නේ එවැනි අපූර්ව සහ අමරණීය කතාවකි.

    දිනක්, තම යෙහෙළියගේ මාස අටක් වයැසැති ලාබාල දරුවාව වඩාගෙන සිටි ෆෙලීෂියාට මුහුණදීමට සිදු වන්නේ ඉතාම බිහිසුණු අත්දැකීමකට. නිවසේ ඇතිදැඩි කරමින් සිටි ආක්‍රමණශීලී පිට්බුල් බල්ලා හිටිහැටියේම කඩාපැන දරුණු ලෙස හපාකන්නට පටන්ගත්තා.

    ඕනෑම කෙනෙකුට ජීවිතයත් මරණයත් අතර දෝලනය වන හැඟීමක් ඇතිවෙන්නට සමත් එම තත්ත්වය තුළ, තමන්ගේ ජීවිතය බේරාගැනීමට පලායාම ගැන ඇය සිතුවේවත් නැහැ. ඇය කළ එකම දෙය වූයේ, සිය සිරුරෙන් අදාළ බිළිඳිය සම්පූර්ණයෙන්ම ආවරණය කරමින් තදින් තුරුළු කරගැනීමයි. බල්ලා ඇගේ සිරුරට කොතරම් දරුණු ලෙස පහර දුන්නද, ඇයව මොනතරම් සපාකෑවද ඇය සිය තුරුළේ සිටි දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ සියල්ල දරා සිටින්නට තැත් කළා.
    අවසානයේ නිවැසියන්ගේ මැදිහත්වීමෙන් බල්ලා පලවා හරිනු ලැබූ මුත්, ඒ වන විටත් බල්ලාගේ ප්‍රහාර හමුවේ ඇගේ අත්, කලවා, උදරය සහ බෙල්ල ප්‍රදේශය පුරා තුවාල 30ත් 40ත් අතර ප්‍රමාණයක් සිදුවී තිබුණා. ඒ අතරින් සමහරක් මරණීය තුවාල. මේ නිසාවෙන් දිගුකාලීන සැත්කම් රැසකට, සම බද්ධ කිරීම්වලට සහ දරුණු වේදනාවන්ට ඇයට මුහුණදීමට සිදු වුණා.

    එහෙත්, මේ සියලු බිහිසුණු වේදනාවන් තනිව විඳදරාගත් ෆෙලීෂියාගේ කැපකිරීමේ ප්‍රතිඵලය ලෙස, පුංචි බිළිඳියට කිසිදු සීරීමක්වත් නොවී නිරුපද්‍රිතව බේරී තිබුණා.

    පසුව මේ ගැන අදහස් දක්වමින් කැසී කියා සිටියේ, තමන්ගේ දරුවා වෙනුවෙන් තමන්ගේම සිරුර ආරක්ෂක පලිහක් කරගත් ඒ අනුපමේය මිත්‍රත්වය වෙනුවෙන් ස්තූති කිරීමට තමා සතුව වචන නොමැති බවයි. මිත්‍රත්වය කියන හැඟීම ඇත්තටම හරිම සංකීර්ණයි වගේම අපූරුම දෙයක්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here