දකුණු ඉන්දීය සිනමාවේ “ගී කෙවිලිය” සිය ජීවන ගමන අවසන් කරයි

0
49

දකුණු ඉන්දීය සිනමාවේ “ගී කෙවිලිය” ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී සිය ජීවන ගමන නිමා කර තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඇය 88 වැනි වියේ පසුවිය.

දශක කිහිපයක් පුරා ඉන්දීය සංගීත ක්ෂේත්‍රයට අසීමිත දායකත්වයක් ලබාදුන් එස්. ජානකී සිය දිවිය තුළ ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කරමින් ලොව පුරා සිටින සංගීත ලෝලීන්ගේ නොමැකෙන ආදරය දිනාගත් කලා ශිල්පිනියක්.

දෙමළ සිනමාව ඇතුළු ඉන්දීය සිනමා කර්මාන්තයේ ප්‍රමුඛ සංගීත අධ්‍යක්ෂවරුන් වන එම්. එස්. විශ්වනාදන්, ඉලයරාජා සහ ඒ. ආර්. රහ්මාන් ඇතුළු ප්‍රවීණයන් රැසක් සමග ඇය අමතක නොවන ගීත රැසකට හඬ එක්කර තිබුණි.

එමෙන්ම එතුමිය ලාංකීය රසිකයන්ගේද හදවත් දිනාගත් කලාකාරිනියක්.

1959 වසරේ තිරගත වූ “සිහිනය” සිංහල චිත්‍රපටය වෙනුවෙන් ඇය මොහිදීන් බෙග් සමග ගායනා කළ “මල් පීදී ප්‍රේම වෘක්ෂයේ” ගීතය ලාංකීය රසිකයන් අතර අතිශය ජනප්‍රිය වූවක්.

එසේම ඇය “අහිංසක ප්‍රයෝගය” චිත්‍රපටය සඳහා “හඳිණි සුරබුන්ගේ” නම් සිංහල ගීතයටද තම දායකත්වය ලබා දී තිබේ.

එමෙන්ම ඉන්දීය ජාතික සිනමා සම්මාන 4ක් මෙන්ම විවිධ ප්‍රාන්ත සම්මාන 33කට අධික සංඛ්‍යාවකින් ඇය පිදුම් ලබා ඇති බවයි සඳහන් වන්නේ.

දෙමළ, තෙළිඟු, මලයාලම්, හින්දි ඇතුළු ඉන්දීය භාෂා රැසකින් ගීත ගායනා කළ එස්. ජානකී ඉන්දීය සංගීත ඉතිහාසයේ අමරණීය හඬක් ලෙස සැලකේ.

සංගීත ක්ෂේත්‍රයට කළ අතිවිශිෂ්ට සේවය වෙනුවෙන් ඇය ජාතික චිත්‍රපට සම්මාන හතරක් ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබේ.

itn.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here