බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියක තරගයක් අවසානයේ පිහාටු කැඩී ඉවත දමන ෂටල්කොක් (Shuttlecocks) දහස් ගණනක් අපි දැක ඇත්තෙමු. බොහෝ දෙනෙකුට එය හුදෙක් කසළ ගොඩට එකතු වන දෙයක් පමණක් වුවත්, කැනඩාවේ 18 හැවිරිදි පාසල් සිසුවියකට එය පෙනුණේ පරිසරය රකින අපූරු සම්පතක් ලෙසයි.
කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ මාක්හැම් නගරයේ පදිංචි අන්යා යැන්ග් (Anya Yang) නම් ඇය, ඉවතලන ෂටල්කොක් අලංකාර යතුරු රඳවන (Keychains) බවට පත් කරමින් අද වන විට ජාත්‍යන්තර ඇගයීමට පවා පාත්‍ර වී තිබේ.
වසර 400ක් පරිසරයට බරක් වන නිහඬ අර්බුදය

කැනඩාවේ ‘නැෂනල් ඔබ්සර්වර්’ (National Observer) පුවත්පතට අනුව, ලොව පුරා මිලියන 339කට අධික පිරිසක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නිරත වෙති. ප්ලාස්ටික් සහ කිරළ (Cork) යොදා නිපදවන ෂටල්කොක් එකක් පරිසරයට දිරාපත් වීමට වසර 100ත් 400ත් අතර අතිශය දීර්ඝ කාලයක් ගත වේ. තමන් ප්‍රිය කරන ක්‍රීඩාව නිසා පරිසරයට සිදුවන මෙම හානිය දුටු අන්යා, ඊට විසඳුමක් සෙවීමට තීරණය කළාය.
නිවසේ බිම් මහලෙන් ඇරඹි ‘Birdie UP Canada’

වයස අවුරුදු 15 දී කෙන්යානු වෙරළට ගොඩගසන පරණ රබර් සෙරෙප්පුවලින් කලා නිර්මාණ කරන පරිසරවේදිනී ජූලි චර්ච්ගේ වීඩියෝවක් නැරඹීමෙන් අන්‍යාට මෙම අදහස පහළ විය. ඒ අනුව 2024 ඔක්තෝබර් මාසයේදී සිය මිතුරියන් වන ක්‍රිස්ටීන් ලියැන්ග් සහ අයිවි ෆෝචූන් සමඟ එක්ව ඇය ‘Birdie UP Canada’ සංවිධානය ආරම්භ කළාය.

පරිත්‍යාග ලෙස ලැබුණු වර්ණ හා අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේ බිම් මහලේ සිට ඔවුන් මෙම යතුරු රඳවන නිර්මාණය කිරීම ඇරඹූහ.
ජාතික සම්මාන සහ ලෝක වනජීවී අරමුදලට අතහිත

මුල් කාලයේ ගෙයින් ගෙට ගොස් අලෙවි කළ මෙම නිර්මාණවලට පසුව ප්රදර්ශනවලදී විශාල ඉල්ලුමක් හිමි විය. කොතරම් ඉල්ලුමක් තිබුණේද යත්, යතුරු රඳවනයක මිල දෙගුණයකින් ඉහළ දැමීමට පවා ඔවුන්ට හැකි විය.
- එම අලෙවියෙන් උපයාගත් මුදලින් කැනේඩියානු ඩොලර් 600කට ආසන්න මුදලක් ඔවුන් ලෝක වනජීවී අරමුදලට (WWF) පරිත්‍යාග කළහ.
- ඉතිරි මුදල් පාරිසරික හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් ක්‍රියාත්මක වන පුණ්‍යායතන වෙත ලබා දී තිබේ.
ඇයගේ මෙම පරිසර හිතකාමී මෙහෙවර අගයමින් 2025 වසරේදී තිරසාර අධ්‍යාපන හා ක්‍රියාකාරී ආයතනය විසින් පිරිනමන ‘ජාතික තරුණ දේශගුණික ක්‍රියාකාරී සම්මානය’ (National Youth Climate Action Award) ද අන්‍යාට හිමි විය.
අනාගත පරපුරටත් ආදර්ශයක්
තිදෙනෙකුගෙන් ඇරඹි මෙම කණ්ඩායම වටා අද ස්වේච්ඡා සේවකයින් සිය ගණනක් එක්ව සිටිති. ඔවුන් කුඩා දරුවන් වෙනුවෙන් වැඩමුළු පවත්වමින්, ඉවතලන ද්‍රව්‍යවලට නව වටිනාකමක් දෙන ආකාරය (Upcycling) ප්‍රායෝගිකව උගන්වති. දරුවන් තමන් විසින්ම සාදාගන්නා නිර්මාණ නිවසට රැගෙන යාම හරහා ඔවුන්ගේ දෙමාපියන් තුළ පවා පරිසර සංරක්ෂණය පිළිබඳ නව ආකල්පයක් ඇති වන බව අන්යා පවසයි.
කසළ ගොඩට විසි කරන දෙයක් දෙස නිර්මාණශීලී ඇසකින් බැලුවහොත්, එය පරිසරයත් රැකගෙන සමාජයටත් සේවයක් කළ හැකි වටිනා සම්පතක් බවට පත් කළ හැකි බව අන්යා ලොවටම ඔප්පු කර තිබේ.




