ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප

    0
    19

    ඒ අනුව ඉදිරියේ දී ” ජාතක කතාවලින් පිළිබිඹු වන ස්ත්‍රිය පිළිබඳ සංකල්ප” යන මැයෙන් ලිපි පෙළක් සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර, මතු පළ වන්නේ ඒ පිළිබඳ කරන හැඳින්වීමකි.

    ජාතක කතා රාශියක කාන්තාව: කාමයට ඇලුම් කරන, සැමියාට ද්‍රෝහී වන, වංචාකාරී, කපටි හෝ තම ආශා පාලනය කරගත නොහැකි චරිතයක් ලෙස නිරූපණය වන අවස්ථා හමුවේ. විශේෂයෙන් පුරුෂයා ගේ සදාචාරාත්මක පිරිහීමට හේතුවක් ලෙස කාන්තාව ඉදිරිපත් කරන කතා ද ඒහි අන්තර්ගත ය. මෙවැනි නිරූපණ තුළින් ස්ත්‍රිය ගේ: ලිංගික ආශාව, ඊර්ෂ්‍යාව, කපටිකම, වංචාව සහ අසංවරභාවය “දුර්වලතා” ලෙස හඳුන්වා දෙන ආකාරයක් දැකිය හැකි ය.

    තවත් අවස්ථාවක කපටිකම සහ වංචාව ස්ත්‍රී දුර්වලතාවක් ලෙස ඉස්මතු කරයි. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා බොරුව, රැවටීම හෝ උපක්‍රම භාවිත කරන කාන්තාවන් පිළිබඳ කතා අන්තර්ගත ය. මෙහි දී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ, එවැනි හැසිරීම් පුරුෂයින් තුළ ද පවතින බවයි. එබැවින් ඒවා ස්ත්‍රීන්ට පමණක් සීමා වූ දුර්වලතා ලෙස දැකීම අසාධාරණය යන්න මගේ පුද්ගලික අදහස ය.

    ඊර්ෂ්‍යාව, මානය සහ බලයට ඇති ආශාව ද ඇතැම් කාන්තා චරිත තුළින් නිරූපණය කරයි. තමන්ට ලැබෙන අවධානය වෙනත් කාන්තාවකට හිමිවීම නොඉවසීම, තම තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා අනෙක් අයට හානි කිරීම, තම රූපය හෝ සමාජ තත්ත්වය පිළිබඳ අධික මානයක් දැක්වීම යනාදි ලක්ෂණ ද කාන්තා චරිත සමග සම්බන්ධ කර ඇති බව දැකිය හැකි ය.

    මෙහි දී තවත් වැදගත් කරුණක් වන්නේ ජාතක කතා නිර්මාණය වූ සමාජ පසුබිම යි. පැරණි ඉන්දියානු සමාජය අද සමාජයට සමාන නොවුණි. පවුල, විවාහය, ස්ත්‍රී පුරුෂ සබඳතා, ස්ත්‍රිය ගේ සමාජ භූමිකාව සහ ලිංගික සදාචාරය පිළිබඳ එදා පැවති අදහස් එම කතාවලට ඇතුළත් වීම ස්වාභාවික ය. එබැවින් අද දවසේ ස්ත්‍රීන් පිළිබඳ අපගේ සමාජ අවබෝධය මත පදනම්ව ඒ සියල්ල විනිශ්චය කිරීම වෙනුවට, ඒවා ඒවාට අදාළ ඓතිහාසික සහ සමාජ පසුබිම තුළ කියවීම වඩාත් ඵලදායී වේ.

    සැබැවින් ම ”ස්ත්‍රී දුර්වලතා” පිළිබඳ ජාතක කතා කියවීමේ දී තවත් ගැඹුරු ප්‍රශ්නයක් මතු වේ. එනම්, ස්ත්‍රියක ගේ දුර්වලතාවක් ලෙස පෙන්වන හැසිරීමක්, පුරුෂයකු ගේ හැසිරීමක් වූ විට එය එසේම විනිශ්චය කරන්නේ ද යන්නයි. පුරුෂාධිපත්‍යය මත ගොඩනැගුණු සමාජයක ලිංගික සදාචාරය පිළිබඳ නිර්ණායක පුරුෂයා විසින් නිර්මාණය කරන ලද්දේ නම්, කාන්තාවට පවරා ඇති ”දුර්වලතා” නැවත කියවීම අවශ්‍ය වේ.

    ඒ අනුව ජාතක කතාවල ස්ත්‍රී චරිත අපට වැදගත් වන්නේ ඒවායේ සඳහන් දුර්වලතා පමණක් නිසා නොවේ. මිනිස් සිතේ ඇති: කාමය, ඊර්ෂ්‍යාව, වංචාව, බලලෝභය, ආශාව සහ අසංවරභාවය ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව හඳුනාගැනීමට ඒවා අවස්ථාවක් සපයන බැවිනි. ස්ත්‍රියට පමණක් දෝෂ පවරන කියවීමකට වඩා එම චරිත මගින් පැරණි සමාජයේ ස්ත්‍රිය පිළිබඳ තිබූ ආකල්ප ද විමසා බැලීම වැදගත් ය.

    එවැනි කියවීමක් මගින් ජාතක කතා හුදෙක් ආගමික හෝ සදාචාරාත්මක කතා එකතුවක් ලෙස නොව, පැරණි සමාජයේ මිනිස් සබඳතා, ලිංගික සදාචාරය සහ ස්ත්‍රී-පුරුෂ බල සම්බන්ධතා පිළිබඳ වටිනා සාහිත්‍යමය සාක්ෂියක් ලෙස ද හඳුනාගත හැකි ය.

    ඉදිරියේ දී මෙම මාතෘකාව පිළිබඳ ව දීර්ඝ සහ හරවත් සාකච්ඡාවක් ඇරඹීමට බලාපොරොත්තුවෙන් මම මෙම හැඳීන්වීම අවසන් කරමි.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here