පාකිස්තානය පරදා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තවත් විශිෂ්ට ජයක්.

0
47

පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවති තෙදින තරගාවලියේ හයවන තරගයෙන් පාකිස්තානු අවුරුදු 19න් පහළ කණ්ඩායම එරෙහිව කඩුලු 9ක දැවැන්ත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් කාන්තා ක්‍රීඩා කණ්ඩායම සමත්විය. මෙය තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ තෙවන අඛණ්ඩ ජයග්‍රහණය වේ.

පළමුව පන්දුවට පහළ දුන් පාකිස්තානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 110ක් පමණි. පාකිස්තාන ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකාරිනී කොමල් ඛාන් පන්දු 59කදී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 54ක් රැස්කළ අතර, රවාලි ෆර්හාන් ලකුණු 26ක් ලබාගත්තාය. කෙසේ වෙතත්, පළමු කඩුල්ලට ලකුණු 57ක සබඳතාවක් ගොඩනැංවූවත්, ඉන් අනතුරුව ලකුණු 60ක් ඇතුළත කඩුලු 8ක්ම දවාලමින් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සහ පන්දු රකින්නියෝ විසින් පාකිස්තාන ඉනිම අඩපණ කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු රැකීම හමුවේ පාකිස්තාන ක්‍රීඩිකාවන් 5 දෙනෙක්ම දුවද්දී දැවී යාමට හසුවූහ. පන්දු යැවීමේදී චමෝදි හේරත්, නෙත්මි උපේක්ෂා සහ ධනෝද්‍යා සෙව්මිණී අතරට එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ලකුණු 114ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15.2ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 111ක් ලබාගනිමින් පහසු ජයක් වාර්තා කරන්නට සමත් විය. බංග්ලාදේශයට එරෙහිව නොදැවී ලකුණු 90ක් රැස්කළ 17 හැවිරිදි වමත් ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි පන්දු 46කදී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් වේගවත් ලකුණු 61ක් රැස්කළාය.
විමෝක්ෂා බාලසූරිය නොදැවී ලකුණු 43ක් (පන්දු 46 කදී ) ලබාගත් අතර, ඔවුන් දෙදෙනා අතර වාර්තා වූ නොබිඳුණු ආරම්භක කඩුල්ලේ ලකුණු 108ක සබඳතාව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. පාකිස්තානය වෙනුවෙන් බිඳ වැටුණු එකම කඩුල්ල මහ්නූර් සෙබ් විසින් දවා ගන්නා ලදී.

අඛණ්ඩව තෙවන වරටත් තරගයේ වීරවරිය ලෙස නම් කෙරුණු සංජනා කාවින්දි, මීට පෙර ලකුණු 48ක්, නොදැවී 90ක් සහ 61ක් ලෙස දැක්වූ දක්ෂතා හේතුවෙන් මෙවර තරගාවලියේ කැපී පෙනෙන පිතිකාරිනියක් බවට පත්ව සිටී.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති අතර, බංග්ලාදේශය දෙවන ස්ථානයේත්, පාකිස්තානය තෙවන ස්ථානයේත් පසුවෙයි. තරගාවලියේ මීළඟ තරගය හෙට (11) පාකිස්තානය සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව යළිත් සඳුදා (12) පාකිස්තානය සමඟ තරග වැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here