සමහර මිනිසුන් තම ජීවිතයේ මඟ සලකුණු වෙනස් කරගන්නේ කිසිවෙකු නොසිතන මානයකින් හා තම තමන්ට ආවේණික ක්‍රමවේදයන්ට අනුවය. බ්‍රිතාන්‍යයේ බානාඩ් කැස්ල් පදිංචිව සිටි 38 හැවිරිදි වෛද්‍ය ජේනි ලෝව්ස් (Dr. Janey Lowes) ද එවැනි අපූර්ව චරිතයකි. එක්සත් රාජධානියේ ගත කළ සුඛෝපභෝගී සහ සැපපහසු පශු වෛද්‍ය ජීවිතයට සමුදී, ශ්‍රී ලංකාවේ අසරණ වූ වීදි සුනඛයන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් කැපවීමට ඇය තීරණය කළේ මීට වසර කිහිපයකට පෙරාතුවය.
අද වන විට, ශ්‍රී ලංකාවේ අසරණ වීදි සතුන් උදෙසා පවුම් මිලියන 1.6ක (ඇමරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක්) පූර්ණ පහසුකම් සහිත නවීන පශු රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස්කිරීමේ අරමුණෙන් පසුවන්නීය.
උතුරේ සිට දකුණට යන ‘Dog Jog’
මෙකී අපේක්ෂිත මුදල සොයාගැනීම වෙනුවෙන් ජේනි සංවිධානය කර ඇත්තේ ‘Dog Jog’ ලෙස නම් කළ පාගමනකි. ඔක්තෝබර් 9 වනදා දිවයිනේ උතුරු කෙළවර සලකුණු කරමින් පේදුරු තුඩුවෙන් ආරම්භ කෙරෙන මෙම පාගමන, දිවයිනේ දකුණු කෙළවර වන දෙවුන්දර තුඩුව දක්වා සිදුකෙරෙනු ඇත.
සම්පූර්ණ දුර කිලෝමීටර 620ක් (හැතැප්ම 385ක්) වන අතර, දින 22ක් ඇතුළත මෙම ගමන නිමා කිරීමට ඇය බලාපොරොත්තු වෙයි. මෙය සාමාන්‍යයෙන් අර්ධ මැරතන් තරග 30ක් පමණ එක දිගට පැවැත්වීමට සමාන දැවැන්ත වෙහෙසකර අභියෝගයකි.
“ මම මීට කලින් ග්‍රේට් නෝර්ත් අර්ධ මැරතන් තරගයකවත් දුවලා නැහැ. මට වෙලාවකට හිතෙනවා මම මොන වගේ පිස්සු වැඩකටද මේ අතගැහුවේ කියලා. ඒත් අපිට අවශ්‍ය මුදල හොයාගන්න නම් මට මෙන්න මේ වගේ අසාමාන්‍ය දෙයක් කරන්නම වෙනවා. මොකද මේ රෝහල හදන්න ලැබුණොත් ඒකෙන් තවත් සතුන් දහස් ගණනකගේ ජීවිත බේරෙයි,” යනුවෙන් වෛද්‍ය ජේනි සිනාමුසුව පවසා සිටින්නීය.
ජේනි ලෝව්ස් පළමු වරට ශ්‍රී ලංකාවට පැමිණියේ සාමාන්‍ය සංචාරකයකු ලෙසයි. නමුත් මහමග තුවාල ලබා, අසනීප වී, අනතුරුවලට ලක්ව අසරණව සිටින වීදි සුනඛයන් දුටු ඇගේ සිත දැඩි ලෙස කම්පා විය.
“එදා පශු වෛද්‍යවරියක් විදිහටත් මට හිතුණේ මම හරිම අසරණයි කියලා. සතුන්ට පිහිට වෙන්න ඕන තරම් දැනුම සහ හැකියාව මට තිබුණත්, ඒ වෙලාවේ කිසිම උපකරණයක්වත් මට තිබුණේ නැහැ. ලංකාවේ අයට සහ ඒ සතුන්ට වෙනත් කිසිම පිහිටක් නැතිව කොච්චර නම් අසරණකමක් දැනෙනවා ඇද්ද කියලා මට ඒ මොහොතේ තේරුණා,” ඇය වැඩිදුරටත් පවසය.
එතැන් පටන් සිය මව් රටට යෑම පසෙක තබා 2014 වසරේදී WeCare Worldwide නම් සංවිධානය පිහිටවූ ඇය, මුල් කාලයේදී තමන් සිටි නිවස ඇතුළතදීම සතුන්ට ප්‍රතිකාර කළාය. පසුව කුඩා ළමා උද්‍යාන ගොඩනැගිල්ලක් තාවකාලික සායනයක් බවට හරවා ගනිමින්, මේ වන විට සුනඛයන් සහ පූසන් 35,000කට වැඩි ප්‍රමාණයකට ජලභීතිකා එන්නත් සහ හදිසි ජීවිතාරක්ෂක ප්‍රතිකාර ලබාදීමට ඇය සහ ඇගේ කණ්ඩායම සමත්ව සිටියි.
පහසුකම්හි ගැටළු
නමුත් දැනට පවතින මෙම තාවකාලික සායනය වසර ගණනාවක් පැරණි, අද වන විට බිත්තිවල පෙඳපාසි බැඳී, වැසි වැටෙන සෑම අවස්ථාවකම වහලෙන් වතුර කාන්දු වන, ඉතා කුඩා පරිශ්‍රයකි. එමෙන්ම අලුතින් ඇතුළත් කරන අසනීප සතුන් නිසා එය දැඩි ලෙස පිරී ඉතිරී යයි.
” මෙතන පවුම් මිලියන 1.6ක මුදලක් ගැන ඇහෙනකොටත් වික්ෂිප්ත වෙනවා තමයි. ඒත් ඒක ලන්ඩන් නගරයේ කාමර දෙකක කුඩා නිවසක් ගන්න යන මුදලට සමානයි. ඒ මුදලෙන් අපිට මෙහෙ සම්පූර්ණ පූර්ණ පහසුකම් සහිත, අලුත්ම රෝහලක්ම හදන්න පුළුවන්,” වෛද්‍ය ජේනි කරුණු පෙන්වා දෙන්නීය.
ලංකාවේ අසරණ වීදි සුනඛයන්ගේ ජීවිත වෙනුවෙන් සුවපහසු ජීවිතය කැපකර, කිලෝමීටර 620ක දුරක් පයින් ඇවිද ගොස් මුදල් එකතු කොට රෝහලක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන වෛද්‍ය ජේනි ලෝව්ස්ගේ මෙම මානුෂීය වෑයම, අගය කරනු වටනේය.
News first.lk Instagram පිටුව අනුසාරයෙන්
සටහන
කල්පනී ෂමල්කා




