ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ ‘සෝනුමන්දාරා’ ටෙලි නිර්මාණයට

0
24

ලේඛිකාවක්, තිරපිටපත් රචිකාවක් මෙන්ම ගුරුවරියක් ලෙසද සේවය කරන ගයනි අසිංසලා පියදිගම බොහෝ දෙනකු හඳුනාගත්තේ සමාජයේ ආන්දෝලනාත්මක කතාබහකට ලක්වුණු වීදුරුතිර ටෙලි පිටපත් රචිකාවිය ලෙසිනි. ‘චලෝ’ ඇයගේ පළමු තිරපිටපතයි. මේ වනවිට ටෙලි තිරපිටපත් දොළහක් රචනා කර ඇති ඇය මේ දිනවල විකාශය වන අම්මා මෙන්ම සෝනුමන්දාරා ටෙලි නිර්මාණයේද රචිකාවියයි. ටෙලි නාට්‍ය සහ සිනමා තිරපිටපත් රචිකාවියක් ලෙස ඉතාම ජනප්‍රිය ගයනි ක්ෂේත්‍රයට පිවිසුණු අතීතය සිහිපත් කරමින්ම අප හා කතාබහට එක්වූවාය.

“මම දැන් මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 5ක් විතර වෙනවා. දැනට ටෙලි පිටපත් 12ක් ලියලා තියෙනවා. මුලින්ම ලිව්ව ‘චලෝ’ අධ්‍යක්ෂණය කළේ හසුන් සමීර. එතැනයි මගේ පටන්ගැන්ම. ඊට පස්සේ ‘මීනු’ සහ ‘විදූ’ ටෙලි පිටපත් දෙකම අධ්‍යක්ෂණය කළේ ඉරේෂ් ලොකුබණ්ඩාර. See You ධනුෂ්ක රත්නායකගේ. ‘වීදුරුතිර’ නොහිතූ විදිහට ගොඩක්ම ජනප්‍රිය වුණු ටෙලි පිටපතක්. අධ්‍යක්ෂණය ශාන් ජයරත්නගේ. ‍‘ප්‍රේම රස්තියාදුව’ වගේම දිනේෂ් හග්ගල්ලගේ ‘මාව මතකද’, තරංග දිසානායකගේ ‘හිච්චි’, මේනක රාජපක්ෂගේ ‘අහස්’ මගේ අතින් ලියැවුණු තිරපිටපත්. මේ දිනවල ‘සෝනුමන්දාරා’ සහ ‘අම්මා’ ටෙලි නිර්මාණ දෙක විකාශය වනවා.“

ගැමිකම රැල්ලක් බවට පත්වෙමින් නිර්මාණ බිහිවීමේ කලාවේ ආරම්භය ගයනී විසින් රචිත චලෝ වීමද විශේෂත්වයකි.

“චලෝ කියන්නේ බිබිල කියන මගේ ගමේ මං උගන්නපු පාසලේම ෂූට් කළ සත්‍ය කතාවක් පාදක කරගත් ටෙලි නිර්මාණයක්. පාපන්දු ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් දන්නැති පිරිසක් පාපන්දු කණ්ඩායමක් හදාගෙන ජාතික මට්ටමේ මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගත්ත අත්දැකීමක්. ඒක ගැමිකම අමු අමුවේම විදහාපාපු කතාවක්. චලෝ නාට්‍ය ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට වැලඳ ගත්තා. ඊට පස්සේ ගැමි කතා රැල්ලක්ම ආවා. ලංකාවේ පළමු කාන්තා පාපන්දු කණ්ඩායම බිහිවෙලා තියෙන්නෙත් අපේ ගමෙන්. චලෝ කොතරම් සාර්ථක නිර්මාණයක් වුණාද කියනවා නම් ශලිනි හැරෙන්න අනෙක් කිසිම කෙනකුට චලෝ චරිතයෙන් මිදිලා අදටත් වෙනත් නිර්මාණයක චරිතයක් වෙන්න බැරි වෙලා තියෙනවා. සමහර විට ඒක ඔවුන්ට සිදුවුණු අසාධාරණයක් කියලත් හිතෙනවා.“

‘අම්මා’ ටෙලි නිර්මාණය පුංචි දරුවන්ගේ අවධානයට ලක්වීම ගැන ගයනී තුටින් පසුවන්නීය.

“අම්මා කෙනෙක් සහ දරුවන්ගේ ආදරය ගැන කතාබහට ලක්වන අම්මා ටෙලි නිර්මාණයට ගොඩක්ම පොඩි දරුවන්ගේ ප්‍රතිචාර ලැබෙනවා. චරිත් අබේසිංහ, නයෝමි තක්ෂිලා, අමන්දා ජයරත්න, තිලාන් වර්ණජිත් ප්‍රධාන චරිත මවන, මිහි කියන පොඩි පුතාගේ චරිතය ඔස්සේ ගලාගෙන යන කතාවක්. අම්මා කියන වචනයට අදාළ කතන්දර ගොඩක් තියෙන නිසා තමයි ඒකට අම්මා කියන නම දැම්මේ.“

මේ දිනවල වැඩිපුරම ප්‍රතිචාර ලබන ටෙලි නිර්මාණය ‘සෝනුමන්දාරා’ බවද ගයනී සිහිපත් කළාය.

“‘සෝනුමන්දාරා’ ටෙලි නිර්මාණයට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ. අධ්‍යක්ෂණය කළේ ඉන්දික ධර්මතිලක. තිරපිටපත ලියලා අවුරුදු තුනක් විතර කරන්න ආසාවෙන් බලාගෙන හිටිය වැඩක්. ලස්සන ආදර කතාවක්. දර්ශන් තවරාජා, නෙත්මි රොෂෙල් සහ දිනූෂ දිසානායක ප්‍රධාන චරිත මවන්නේ. ආදරය වෙනුවෙන් මිනිස්සු මොනවද නොකරන්නේ කියන එක තමයි පෙන්නන්නේ. සෝනුමන්දාරා කියන නමටත් ගොඩක් අය කැමැතියි. ප්‍රධාන චරිත දෙකේ නම් එකතු කරලයි මම ඒ නම දැම්මේ. දර්ශන් තවරාජා නළුවෙක් විදිහට ගොඩක් මිනිස්සු අතරට ගියේ සෝනුමන්දාරා චරිතයෙන්. ඊට කලින් ඔහු මගේ SEE YOU ටෙලි නිර්මාණයේත් හිටියා. දර්ශන්ව ගොඩනැඟුණේ ඔය නිර්මාණ දෙකෙන් කිව්වත් හරි.“

පසුගියදා අතිශයින්ම ජනප්‍රිය වෙමින් සමාජයේ ප්‍රබලව කතාබහට ලක්වූ වීදුරුතිර පිළිබඳ ගයනිට තිබුණේ මෙවන් අදහසකි.

“වීදුරුතිර කතා සංකල්පය ශලිනිගේ. කතාව ගොඩනැඟුවේ මම. මේ ගැන අවබෝධයක් නැති නිසා මුලදී ලියන්න බය වුණා. මුලින්ම ඒ පිළිබඳ දැනුමැති විද්වතුන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන් අදහස් අරගෙන ඒ කතාවේ මානුෂික පැත්ත හොයාගත්තා. එතැනදි මනෝ උපදේශක එරන්දි අපිට ගොඩක් උදවු කළා. සමරිසි අය හොයාගෙන ඔවුන්ගෙන් අදහස් විමසලා පොඩි ගවේෂණාත්මක අත්දැකීමකුත් එකතු කළා. එහෙම නැතුව අපි කාටවත්ම පක්ෂව කරපු වැඩක් නෙවෙයි මේක. මේ වගේ අය තමන්ගේ අනන්‍යතාව හංගගෙන විවාහ වුණාට පස්සේ අනිත් පාර්ශ්වයට ඇතිවන අගතිය ගැන තමයි අපි කතා කළේ.

වීදුරුතිර විකාශය වෙද්දි ලැබුණු ප්‍රතිචාරවලින් පස්සේ තමයි අපිටත් තේරුණේ සමාජයේ මේ වගේ අය කොතරම් ඉන්නවද කියලා. ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න ඉඩ දීලා තමන්ගේ පවුල රැකගෙන හඬාවැටෙමින් ජීවත් වන ඒ වගේ කාන්තාවන් මේ සමාජයේ කොතරම් ඉන්නවද කියලා අපිට තේරුණේ මේ නිර්මාණය කළාට පස්සේ. ඒ වගේ අයගෙන් ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අපිට විරුද්ධව කතා කළ අයත් හිටියා. අපිට ඕන වුණේ කවුරුත් ප්‍රමෝට් කරන්න නෙවෙයි. මේ වගේ අය පවුල් ජීවිතවලට සම්බන්ධ කරගෙන තවත් ජීවිතයක් විනාශ වෙන එක වැළැක්වීම. ප්‍රධාන පෙළේ සම්මාන උලෙළවලින් අපිව ප්‍රතික්ෂේප කළා. නමුත් මිනිස්සු ආදරෙන් වැලඳ ගත්ත නිසා ජනප්‍රියම සති අන්ත ටෙලි නිර්මාණයට හිමි සම්මානය අපිට ලැබුණා.“

ලේඛිකාවකට එහා ගිය ගෞරවනීය වෘත්තියකට හිමිකම් කියන ගයනී එය සිහිපත් කළේද සියුම් ආඩම්බරකාරී හැඟීමකිනි.

මම වෘත්තියෙන් සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය ගුරුවරියක්. උගන්වන්නේ මගේ ගමේම පාසලේ. බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ. ඊට අමතරව මවක් විදිහට දරුවන් තිදෙනකුගේ වැඩ කරන ගමන්මයි මම මේවා ලියන්නෙත්. ඉදිරියට එන්න තව නිර්මාණ හතරක් විතර තියෙනවා. දෙකක් මේ වෙද්දිත් රූගත වෙනවා. අනිත් දෙකත් සැලසුම් වෙමින් යනවා. ඒ වගේම චිත්‍රපට තිරපිටපත් තුනක් ලියලා තියෙනවා. එකක වැඩ ඉවරයි. අනිත් දෙකත් කරමින් යනවා.

rasanduna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here