රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය වැඩ භාර ගනී

0
27

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර සිය ධූරයේ වැඩ භාර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 68ක් සපිරීමට සමගාමීව පසුගියදා මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ඇය පත් කරනු ලැබීය.

සිය කාර්ය මණ්ඩලය අමතමින් තානාපතිවරිය පැවසුවේ ශ්‍රී ලංකාව හා රුසියානු සමූහාණ්ඩුව අතර දිගුකාලීන හා මිත්‍රශීලී අධ්‍යාපනික, ආර්ථික හවුල්කාරිත්වය සුරැකීම සඳහා කැපවන බවයි.

දිළිඳුකම තුරන් කිරීම, ඩිජිටල් ආර්ථිකය සහ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යන රජයේ ප්‍රධාන කුළුණු තුනට සහය දැක්වීම සඳහා ක්‍රියාශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ඇය අවධාරණය කළා ය.

තානාපතිනි ශෝබිනි ගුණසේකර 1998 වසරේ දී විදේශ සේවයට එක් වූ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ආර්ථික කටයුතු ලෙසත්, නීති කටයුතු නියෝජ්‍ය අධ්‍යක්ෂ, නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් අත්දැකීම් රැසක් සහිතව කටයුතු කළ නිලධාරිනියකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් මෙන්ම වාණිජ විද්‍යා උපාධිධාරිනියක් ද වන ඇය නීතිඥවරියක් ලෙස ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here