සාගරය අතික්‍රමණය කළ ආචාර්ය ආශා ඩි වොස් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඇගයීමට ලක්වෙයි

0
25

ජාත්‍යන්තර කාන්තා දිනය සහ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමේ හැත්තෑවන සැසිය නිමිත්තෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල ආරම්භක අවස්ථාවේදී, ශ්‍රී ලාංකේය ප්‍රමුඛ සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස්ගේ ඡායාරූපයක් සහ ඇගේ ප්‍රබල පණිවිඩයක් තිරයේ ප්‍රදර්ශනය කරමින් ඇයව විශේෂ ඇගයීමට ලක් කර තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රචාරණ වැඩසටහන මගින් තමන්ගේ ක්ෂේත්‍රයන්හි බාධක බිඳ හෙළමින් සුවිශේෂී ජයග්‍රහණ අත්කරගත් කාන්තාවන් ඇගයීමට ලක් කෙරිණි. මෙහිදී ප්‍රදර්ශනය කරන ලද ඡායාරූපය බ්‍රේ හාට්මන් නම් ඡායාරූපශිල්පිනිය විසින් ලබාගන්නා ලද්දකි.

ඡායාරූපය සමඟ ප්‍රදර්ශනය වූ එම පණිවිඩය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය ආශා ඩි වොස් සඳහන් කළේ, තමන් හමුවේ මතුවන සැක සංකා සහ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින්, අන් අයටද අනුගමනය කළ හැකි ආදර්ශමත් මාවතක ගමන් කිරීමට ලොව පුරා සිටින කාන්තාවන් දිරිමත් කිරීම තමන්ගේ අරමුණ වූ බවයි.

මෙම ගෝලීය ඇගයීම වෙනුවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර විසින් ආචාර්ය ආශා ඩි වොස්ට සහ එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත තම සුභාශිංසන පිරිනමා ඇත.

මෙහිදී සමස්ත සාගර විද්‍යා ක්ෂේත්‍රයේම මතවාද උඩුයටිකුරු කළ ඇගේ සුවිශේෂී පර්යේෂණය සම්බන්ධව සඳහන් කළ යුත්තේය.

  • සංක්‍රමණය නොවන නිල් තල්මස් ගහනය

සාමාන්‍යයෙන් ලෝකයේ ජීවත්වන නිල් තල්මසුන් යනු ආහාර සහ බෝවීම සඳහා ධ්‍රැවීය ප්‍රදේශවල සිට නිවර්තන කලාප වෙත අතිවිශාල දුරක් සංක්‍රමණය වන සතුන් කොටසකි. නමුත් ආචාර්ය ආශා ඩි වොස් සොයාගන්නා ලද්දේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ උතුරු ඉන්දියානු සාගරයේ ජීවත්වන නිල් තල්මසුන් කිසිවිටෙකත් වෙනත් සාගර වෙත සංක්‍රමණය නොවී වසර පුරාම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ රැඳී සිටින බවයි.

  • අද්විතීය හැසිරීම සහ සන්නිවේදනය

මොවුන් ආහාර ගන්නා ආකාරය, කිමිදෙන රටාවන් සහ උගුරෙන් පිටකරන ශබ්ද සංඛ්‍යාත ලෝකයේ අන් කිසිදු නිල් තල්මස් ප්‍රජාවකට සමාන නොවන බව ඇය විද්‍යාත්මකව තහවුරු කළාය.

  • විද්‍යාත්මක හා සංරක්ෂණ වැදගත්කම

තල්මසුන් යනු අනිවාර්යයෙන්ම සංක්‍රමණය වන සතුන්ය යන සම්ප්‍රදායික විද්‍යාත්මක මතය බිඳ හෙළීමට මෙන්ම, ජාත්‍යන්තර නැව් මාර්ග නිසා ශ්‍රී ලංකා මුහුදේ වාසය කරන මෙම තල්මසුන්ට සිදුවන හානි පිළිබඳ ලෝකයේ අවධානය යොමු කරවීමටද ඇගේ පර්යේෂණය සමත් විය.

තමන්ට නොහැකි යැයි කියූ සමාජයක් හමුවේ තමන්ගේ හැකියාව සහ විශ්වාසය අත්නොහැර ඉදිරියට යන ඕනෑම කාන්තාවකට ලෝකයම දිනාගත හැකි බවට ඔප්පු කොට පෙන්වූ ආචාර්ය ආශා ඩි වොස් වෙත කෙරුණු මෙම ගෝලීය ඇගයීම ප්‍රශංසනීයය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here