අනුරාධා නිල්මිණිගේ රසාත්මක වාක්‍යයෙන් ආකුල “මුහුලු මුක්තක”

    0
    30

    “සමනොල මුහුල මහ සමුදුරු මෙවුල් බර” යැයි සැලළිහිණිකාරයා ලියා ඇත. සමනොළ කන්ද නමැති දිගු වරලසෙන් හෙබි යොවුන් ලංකාංගනාව.

    මහා සිංහල ශබ්දකෝෂය දක්වන පරිදි “මුහුලු” යන්නට හැකිළුණු, මුකුලිත-යන තේරුම්ද  තිබේ. අනුරාධා නිල්මිණි ලියන්නී සීගිරි හිමබියන් ගේ මුදාහළ වරලස යැයි සිතන්නට මම කැමැත්තෙමි. මුහුලු මුක්තක යනු එය යි.

    සීගිරි කැටපත් බිතෙහි කුරුටු ගී ලියන්නට ඇත්තේ ක්‍රි.ව .8, 9, 10 සියවස්වල දී යැයි විද්වත්හු කියති. මහැදුරු පරණවිතානයෝ සිය “සීගිරි ග්‍රැපටි” කෘතියෙන් කුරුටු ගී 685 ක් ලෝකයට හෙළිදරව් කළහ. ඉන් තෝරාගත් ගී සියයකට අනුරාධා නිල්මිණි පිළිතුරු ගී ලියන්නී 21වන සියවසේ සිටිමින් කවි ගී කියවා රස විඳින පාඨක ජනී ජනයා අමන්දානන්දයට පත්කරන්නී ය.

    සීගිරි කැටපත් බිතේ කුරුටු ගීවලට: පරිකථාවක්, සන්නයක්, ගැටපදයක්, විවරණයක්, ව්‍යාඛ්‍යානයක්, අටුවාවක්, ටීකාවක්, ටිප්පනියක්, පිටපොතක් ලියනවා වෙනුවට, එවක පස්වැනි සියවසේ දී කාශ්‍යප නරේන්ද්‍රයාණන් විසින් ගොඩනංවන ලද සීගිරියේ අටවන, නවවන, දසවන සියවස්හි පැවැති හෙළ බසින් සියයක් දනන් කැටපත් බිතේ අප්‍රමාණ අරපරෙස්සමෙන් කුරුටු අකුරින් ලියූ සියයක් ගීයනට අනුරාධා නිල්මිණි විසිඑක්වන සියවසේ සිංහල භාෂාවෙන් සහ සිංහල අකුරෙන් පිළිතුරු ගී සියයක් ලියන්නී පාඨක මන විල්හි සියයක් මතුනොව දහසක් පියුමුපුල පුබුදුවන්නී ය.

    බෝ දනා අසා දැක ඇති මේ සීගිරි ගීය සහ සිහිගිර හිමබියන් අනුරාධා ලවා එයට ගයන පිළිතුරු ගීය බලන්න.

    “ස්වස්ති

    අග්බොය්මි ලීමි

    නිල්ක(ට්)රොළ මලෙකැ ඇවුණු වැට් කොළ මල සෙය්

    සැන්දැගැ සිහි වන්නෙය් මහනෙල්වන(හ)ය් රන්වනහුන්”

    අර්ථය:-යහපතක්ම වේවා. අග්බොය් (වන මම) ලීමි. මහනෙල් වන් (තැනැත්තිය) සමග හුන් රන්වන් (තැනැත්තිය) නිල් කටරොළු මලක ඇවුණු වැටකොළු මලක් මෙන් සන්ධ්‍යාව පැමැණි විට සිහිවෙයි.

    මේ සුපතළ ගීයට අනුරාධා ලියන “සීගිරි හිමබි-පිළිමන” මෙසේය.

    උපමා-උවම් සෑහෙයි සරුය කවි හද

    නොදොඩා ඉතිම් වෑවෙම් කුමක් කරනුද

    නිල් කටරොළක වැටකොළු මලෙක සුව විඳ

    මිත ඔබ ගෙන යන්නෙ මොන මලෙක සුවඳ ද

    අනුරාධා සීගිරි හෙළිල්ලඹුයුන්ගේ ඇතුළු හදට පිවිස අග්බොය් විත්ති කූඩුවට නංවයි. ඔහුට තෝරාගැනීමක් දෙයි. ඔබට මල් දෙකේ ම සුව විඳීමට හැකි ය. එහෙත් ගෙන යනවා නම් එක් මලෙක සුවඳ පමණක් ගෙන යා යුතු ය. මල් නොනෙළා සුවඳ පමණක් ගෙන යන්න.

    වැට්කොල් මලේ සුවඳ පමණක් රැගෙන ගෙදර යන අග්බොය් හැරෙන තැපෑලෙන් යළි සීගිරි පැමිණෙයි.ඒ නිල් මහනෙල් මලේ සුවඳ රැගෙන යන්නට විය යුතු ය. කැටපත් බිතේ ඔහු නැවතත් ලියයි.

    “අග්බොය්මි ලීමි

    මහනෙල් මලක් ගැනැ සුරතත්නි මන්ද් බැල්මෙන්

    (ගැ)සූ නිල් මහනෙල් කැලුම් කිම දැකුම් සෙය් තම(න)වෙය.

    අනුරාධාගේ හිමබි පිළිමන:-

    අත මහනෙල ද නෙත නිල් කැලුම් කෙමිය ද

    වත රන් පැහැ ද,සසැලෙන පුන් හසුන් තුඩ’ග ද

    නොත’රම් බැලුම්,ඇරියුම් බොළඳකම් මැද

    මෙතරම් නිසොල්මන් මල් තව කොතැන පිපුණි ද

    “වී සෙ(ර මො)මෙනියා කළ වී(ද) මො මෙනියා

    අන්නට් මල් අ(ත්නි ගති)මට් ගලැ (කළ) සෙ වී තද.”

    මැය මේ අයුරින් සෙරක වූවා ද? මෙබඳු ලෙස ක්‍රියා කළේ කෙසේද? අනුන් සඳහා (ඕ තොමෝ)අතින් මල් දරා සිටියා ය.(එහෙත්)මා කෙරෙහි ගලින් කළා සේ තද (සිත් ඇත්තියක)වූවා ය.

    මේ ගීය ලියූ සීගිරි කවියා, මහා කවි කාලිදාස ගේ “ශෘංගාර තිලක”යේ පහත දැක්වෙන පද්‍යයට නෑකම් කියන්නේ කෙසේද?

    “ඉන්දීවරේන නයනං මුඛමම්බුජේන – කුන්දේන දන්තමධරං නව පල්ලවේන

    අංගානි චම්පක දලෛ: සවිධාය වේධා: – කාන්තේ කථං රචිතවානුපලේන වේත:”

    ස්ත්‍රිය! ඒ මහා බ්‍රහ්ම තෙම තිගේ දෑස නිලුපුලින් ද, මුහුණ පියුමෙන් ද, දත් කොඳ මලින් ද, තොල් ළා දලුයෙන් ද, ශරීරය සපු පතින් ද මවා තිගේ සිත ගලින් මැවූයේ කෙසේ ද…?

    12 වන සියවසේ අග භාගයේ සහ 13 වන සියවසේ පළමු භාගයේ පොළොන්නරු යුගයේ වාසය කළ මහා කවි ගුරුළුගෝමීහු “ධර්මප්‍රදීපිකා නම් වූ මහාබෝධිවංශ පරිකථාව” ලියන සඳ එහි “සුළු කළිඟු දා වත” නමින් අති සුන්දර කථා වස්තුවක් ගෙත්තම් කරති. එහි දිලෙන මේ වැනුම බලන්න.

    “කියග සොඳුර. මහ බඹ තෙමෙහෙ සඳින් සොමි ගෙනැ, රන් ගලින් පහන් පැහැ උකහා ගෙනැ, වන විලින් මත් හස් යුවළක් ගෙනැ, තුන් රත් පියුමක් ඇරැ, එයින් එකක් තබා දෙකක් හිරාගෙනැ, සිනිඳු සුනිල් මහනෙල් මල් දෙකක් ගෙනැ, ළහෝපල්ලෙහි මෙළෙකක් ගෙනැ, ළහෙල්මැල්ලෙහි සිහිලස් ගෙනැ, සැහැසී හනා වනා බමරබර පුල් ලෙල ලියෙක් හී එව තී මවා ළය කිසෙ ගල කෙළෙහො” යි කී.

    සුළු කළිඟු කුමර තෙමේ අඹ ගසක් මත ගී ගයමින් සිටි මදු රජ දියණිය දැක ඕ බිමට බස්වාගනු පිණිස කළ මේ වර්ණනය ගුරුළුගෝමීන් උපුටාගන්නට ඇත්තේ ශෘංගාර තිලකයෙන් බව පෙනේ.

    එහෙත් 9වන හෝ 10වන සියවසේ පමණ ලියන ලද සීගිරි ගීයේත් මේ ශෘංගාර තිලක පද්‍යයේත් නොපෙනී පෙනෙන ඥාතිත්වයක ඡායාවක් දිසේ.

    මේ පිළිබඳ අනුරාධාගේ “හිමබි-පිළිමන”:-

    “මෙරක් තරම් එ’මහරු සෙනේ හදිනී – සෙරක් වී, නොවී මලවිසර ලෙහි වැදිණී

    වරක් දකී නම් මධු බිඳු ගලන මධු සඳිනී – සෙරක් ගත් මලක් මැද කුමර බඹසර බිඳුණී.”

    Theleader.lk

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here