2026 මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් (Miss Grand International) රූ රැජින තරගාවලියේ කිරුළ දිනා ගැනීමට ටැන්සානියාව නියෝජනය කළ ජිහාන් ඩිමැක් (Jihan Dimack)සමත්ව තිබේ.
තායිලන්තයේ බැංකොක් නගරයේ ‘MGI Hall at Bravo BKK’ හිදී ඊයේ (ඔක්තෝබර් 10) පැවති අවසන් මහා තරගයේදී ලොව පුරා රටවල් නියෝජනය කළ සුරූපිනියන් 75 දෙනෙකු පරාජය කරමින් ඇය මෙම ජයග්‍රහණය හිමිකර ගත්තාය. පසුගිය වසරේ කිරුළ හිමිකර ගත් පිලිපීන රූ රැජින එමා ටිග්ලාඕ විසින් මෙවර නව ජයග්‍රාහිකාවට කිරුළ පළඳවන ලදී.
මෙවර එම ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ නියෝජනය වූයේ නේතකී ලොකුගමගේ ය. පසුගිය අගෝස්තු මාසයේ පැවැති ‘Miss Grand Sri Lanka 2026’ කිරුළ දිනා ගැනීමෙන් අනතුරුව ඇය මෙලෙස තායිලන්තයේ පැවැති ගෝලීය තරගාවලිය සඳහා සහභාගී වූවාය.
Miss Grand International 2026 තරගාවලියේ පළමු අනුශූරතාව ඉක්වදෝරය නියෝජනය කළ ෂයාරේ ඇන්ඩ්‍රේඩ් විසින්ද දෙවන අනුශූරතාව නෙදර්ලන්තයේ බෝ මේගන් ගූස් විසින්ද, තෙවන අනුශූරතාව ගෝතමාලාවේ ෂිමෙනා කරීලෝ විසින්ද සිව්වන අනුශූරතාව වියට්නාමය නියෝජනය කරන ලද එමෞරා ෆාම් විසින්ද දිනාගන්නා ලදී.
මෙවර තරගාවලිය මුලින්ම ඉන්දියාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබුණද, පසුව සංවිධායක මණ්ඩලය විසින් තරගාවලිය තායිලන්තය වෙත ගෙන ඒමට කටයුතු කරන ලදී. ඉතා කෙටි කාලයකින් සූදානම් වුවද, සැලසුම් කළ පරිදිම ඔක්තෝබර් 10 වන දින සාර්ථකව අවසන් මහා තරගය පැවැත්වීමට සංවිධායකයෝ සමත් වූහ.
මීට අමතරව, මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් සංවිධානය නිවේදනය කර ඇත්තේ මීළඟ 15 වන සංවත්සර තරගාවලියද ලබන වසරේදී තායිලන්තයේදීම ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
වැඩිදුර විස්තර සඳහා
Cebudailynews
සටහන | කල්පනී ෂමල්කා




