ලොව පුරා විසිරී සිටින ගැහැණු දරුවන්ගේ හඬට, ඔවුන්ගේ සිහිනවලට සහ අනාගතයට වටිනාකමක් එකතු කිරීම සඳහා වන ජාත්‍යන්තර ගැහැනු ළමයින්ගේ දිනය අද දිනට (ඔක්තෝබර් 11) යෙදී ඇත. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2011 දෙසැම්බර් 19 වන දින සම්මත කරන ලද යෝජනාවකට අනුව ප්‍රකාශයට පත්කොට ඇති මෙම දිනය ලොව පුරා ගැහැනු දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ අවදි කරන්නාවූ දිනයකි.
මෙවර ජාත්‍යන්තර ගැහැනු ළමයින්ගේ දිනය වෙනුවෙන් UNESCO ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරමුණ ගෙන ලබාදෙන පණිවිඩිය ඉතා කාලෝචිත හා ප්‍රබල තේමාවක් පෙරදැරි කරගනිමින් සැකසී ඇත.
එනම් “ළමා විවාහ අහෝසි කිරීම සහ ගැහැනු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආයෝජනය කිරීම” යන්නයි.
(“End child marriage. Invest in girls’ rights.”)
ගැහැනු දරුවෙකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ස්වාධීනත්වය උදුරා ගන්නා ප්‍රධානතම බාධකයක් වන ළමා විවාහ ලොවින් තුරන් කිරීම මෙවර ප්‍රධානතම අවධානය යොමු වී ඇත. දියණියකගේ ආරක්ෂාව සහ අධ්‍යාපනය උදෙසා කරන ආයෝජනය වනාහි, එකී දැරියගේ අනාගතය පමණක් නොව මුළු මහත් සමාජයකම ප්‍රගමනය උදෙසා කරන ලද අතිමහත් ආයෝජනයක් බව UNESCO ආයතනය සමස්ත ලෝකයටම නැවත මතක් කර දෙයි.
තවමත් ලෝකයේ විවිධ සංස්කෘතීන් හා සමාජයන් අතර ගැහැනු දරුවා මුහුණ දෙන අභියෝග රැසකි. අධ්‍යාපනයට ඇති ප්‍රවේශය අහිමි වීම, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් සහ අසමානතාවන් ඒ අතර ප්‍රධාන වේ. කුඩා කල සිටම ඇගේ සිහින මායිම්වලට කොටු කරනු වෙනුවට, ලෝකය ජය ගන්නට අවශ්‍ය ශක්තියත්, නිදහසේ පියඹන්නට අහසත් ලබා දීම සමාජයීය වගකීමක් වන්නේය.
වැඩිදුර කියවීම් – UNESCO නිල වෙබ් පිටුව
සටහන| කල්පනී ෂමල්කා




