ඉවන්කා ට්‍රම්ප් ඝාතන සැලසුමක් : The New York Post කියයි

0
6

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වන ඉවන්කා ට්‍රම්ප් ඝාතනය කිරීමේ සැලසුමකට ඉරානයේ Islamic Revolutionary Guard Corps

(IRGC) සංවිධානය විසින් පුහුණු කළ ත්‍රස්තවාදියෙකු සම්බන්ධ වී ඇතැයි The New York Post පුවත්පත අනාවරණය කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති 32 හැවිරිදි මොහම්මද් බකර් සාද් දාවුඩ් අල්-සාදී නම් පුද්ගලයා, ඉවන්කා ඝාතනය කිරීමට ප්‍රතිඥාවක් ලබාදී තිබූ අතර, ඇයගේ ෆ්ලොරීඩාවේ පිහිටි නිවසේ සැලැස්මක්ද ඔහු සතුව තිබූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉරාන හමුදා ප්‍රධානියෙකු වූ කාසෙම් සොලෙයිමානි වසර හයකට පෙර බැග්ඩෑඩ්හිදී ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ පළිගැනීමක් ලෙස, ට්‍රම්ප් පවුල ඉලක්ක කරගෙන මෙම සැලසුම ක්‍රියාත්මක වී ඇති බව කියවේ.

වොෂින්ටනයේ පිහිටි ඉරාක තානාපති කාර්යාලයේ හිටපු උප හමුදා නිලධාරියෙකු වූ එන්තිෆාද් කන්බාර් The Post වෙත පවසා ඇත්තේ:

“සොලෙයිමානි මැරුණු පසු, ‘ට්‍රම්ප් අපේ ගෙදර විනාශ කළා වගේ අපිටත් ඉවන්කා මරලා ට්‍රම්ප්ගේ ගෙදර ගිනි තැබිය යුතුයි’ කියලා ඔහු මිනිසුන්ට කියමින් ගියා.”

තවත් ආරංචි මාර්ගයක්ද, ඉවන්කා ඝාතනය කිරීමේ සැලැස්ම පිළිබඳ තොරතුරු තහවුරු කර ඇත.

අල්-සාදී, ඉවන්කා සහ ඇගේ සැමියා වන ජැරඩ් කුෂ්නර්ගේ ඩොලර් මිලියන 24ක ෆ්ලොරීඩා නිවස පිහිටි ප්‍රදේශයේ සිතියමක් X (Twitter) හරහා පළ කරමින් අරාබි භාෂාවෙන් තර්ජනාත්මක සටහනක්ද එක් කර තිබූ බව සඳහන් වේ.

එහි අර්ථය මෙසේය:

“ඇමරිකානුවන්ට මම කියන්නේ මේ පින්තූරය බලලා තේරුම් ගන්න. ඔබේ මාලිගා හෝ Secret Service ආරක්ෂාව ඔබව බේරගන්නෙ නැහැ. අපි දැන් නිරීක්ෂණ සහ විශ්ලේෂණ අදියරේ ඉන්නේ. මම කිව්වා වගේ අපේ පළිගැනීම වෙලාවක ප්‍රශ්නයක් විතරයි.”

අල්-සාදී ඉරාක-ඉරාන ත්‍රස්ත ජාලවල උසස් තනතුරක් දරන පුද්ගලයෙකු ලෙස සැලකෙන අතර, ඔහු මැයි 15 වනදා තුර්කියේදී අත්අඩංගුවට ගෙන ඇමරිකාවට භාරදී ඇත.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව අනුව, යුරෝපය සහ ඇමරිකාව පුරා සිදුවූ ප්‍රහාර සහ ප්‍රහාර උත්සාහ 18කට ඔහු චෝදනා ලැබ සිටී.

ඔහු සම්බන්ධ බව කියන ප්‍රහාර අතර:

• ඇම්ස්ටර්ඩෑම්හි Bank of New York Mellon ගොඩනැගිල්ලට ගිනි බෝම්බ ප්‍රහාරයක්

• ලන්ඩනයේ යුදෙව් පුද්ගලයන් දෙදෙනෙකුට පිහියෙන් පහරදීම

• ටොරොන්ටෝහි ඇමරිකානු කොන්සල් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක්

• බෙල්ජියමේ ලියෙජ් නගරයේ සයිනගෝගයක් බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීම

• රොටර්ඩෑම්හි දේවස්ථානයකට ගිනි තැබීම

ආදී සිද්ධීන් ඇතුළත් වේ.

44 හැවිරිදි ඉවන්කා ට්‍රම්ප් 2009දී ජැරඩ් කුෂ්නර් සමඟ විවාහ වීමට පෙර Orthodox Judaism ආගමට හැරී තිබේ.

වොෂින්ටන්හි New Lines Institute ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකවරියක වන එලිසබෙත් සර්කොව් පවසන්නේ, අල්-සාදී, සොලෙයිමානිගේ අනුප්‍රාප්තිකයා වූ බ්‍රිගේඩියර් ජෙනරාල් එස්මයිල් කානි සමඟද සමීප සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවයි.

කන්බාර් පවසන ආකාරයට, අල්-සාදී කුඩා කලදී තම පියා අහිමිවීමෙන් පසු සොලෙයිමානිව පියාමෙන් සලකා තිබූ අතර, පසුව ටෙහෙරානයට යවා IRGC පුහුණුව ලබාදී ඇත.

ඊට පසු ඔහු ආගමික සංචාර සංවිධානය කරන සංචාරක ආයතනයක් ආරම්භ කර, එය ලොව පුරා ත්‍රස්ත ජාල සමඟ සම්බන්ධතා ගොඩනගා ගැනීමට භාවිතා කළ බවද චෝදනා වේ.

(සටහන | ගිම්හාන් ද සිල්වා )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here