ලෝකයේම රූමතියන් ලංකාවට එද්දී, ලංකාව නියෝජනය කරන යොවුන් රූ රැජින මෙන්න

0
10

ශ්‍රී ලාංකේය රූපලාවන්‍ය සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, කොළඹ වෝටර්ස් එජ් (Water’s Edge) පරිශ්‍රයේදී පසුගිය (17) දින රාත්‍රියේ අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු “Queens Of Sri Lanka 2026” අවසාන මහා තරගයේදී 2026 වසර සඳහා වන “Miss Teen Sri Lanka” කිරුළ දිනා ගැනීමට හෙසලි ප්‍රනාන්දු (Hesali Fernando) සමත් වූවාය.

මෙම ජයග්‍රහණයත් සමඟ, එළඹෙන ජූලි මස 19 වන දින ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත “Miss Teen Tourism” සහ “Miss Tourism International” ලෝක තරගාවලියේ “Miss Teen Tourism” සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ නිල වගකීම ඇයට හිමිවේ. මෙම ජාත්‍යන්තර ඉසව් ජාතික අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර ඉසව් නිෂ්පාදක චරිත් ගුණසේකර මහතාගේ සෘජු මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වීමට නියමිතය.

තම ජයග්‍රහණය පිළිබඳව ‘ලක්වාහිනී’ නාලිකාව වෙත අදහස් දක්වමින් හෙසලි ප්‍රනාන්දු සඳහන් කළේ, ජාත්‍යන්තර වේදිකාවක් මත නියෝජනය කිරීමට ලැබීම තමා ලද සුවිශේෂී ගෞරවයක් සහ සන්ධිස්ථානයක් ලෙස සලකන බවයි.

ප්‍රථම වරට ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක් ශ්‍රී ලංකාවේදී:

ශ්‍රී ලංකා රූ රැජින ඉතිහාසයේ ප්‍රථම වතාවට ජාත්‍යන්තර මට්ටමේ රූ රැජින තරගාවලියක් සඳහා සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. ලෝක ප්‍රකට “Miss Teen Tourism” සහ “Miss Tourism” යන ජාත්‍යන්තර තරගාවලි ද්විත්වය මෙවර ශ්‍රී ලංකාවේදී අභිමානවත්ව පැවැත්වීම විශේෂත්වයකි.

ජූලි මස 19 වනදා නිල වශයෙන් ආරම්භ වීමට නියමිත මෙම දැවැන්ත සංස්කෘතික සහ සංචාරක ප්‍රවර්ධන ඉසව්ව, චරිත් ගුණසේකර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කෙරේ. මෙහි ජාත්‍යන්තර අධ්‍යක්ෂවරයා ලෙස පිලිපීන ජාතික ඕවෙට් රිකාල්ඩ් (Ovette Ricalde) මහතා කටයුතු කරන අතර, පිලිපීනය මව් රට කරගත් මෙම තරගාවලිය සඳහා පිලිපීන ජාතික අධ්‍යක්ෂවරුන් ඇතුළු සම්පූර්ණ ජාත්‍යන්තර නිෂ්පාදන කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතව ඇත.

රටවල් 30 ක නියෝජනයක්:

ලෝකයේ රටවල් 30 කට අධික සංඛ්‍යාවක තරගකාරියන්ගේ සහභාගීත්වයෙන් දින 10 ක් පුරා ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම උළෙල පැවැත්වේ. එහි අවසාන මහා තරගය (Grand Finale) ජූලි මස අවසානයේදී කොළඹදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.

මෙම ජාත්‍යන්තර ඉසව්ව හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සහ සංස්කෘතික අනන්‍යතාවය ලෝක ප්‍රජාව අතරට රැගෙන යාම සංවිධායක මණ්ඩලයේ මූලික අරමුණ වී තිබේ.

Lakvahini

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here