අටමස්ථානාධිපති හිමියන් බාලවයස්කාර දැරියක ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධිය:  ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් නිවේදනයක්

0
6

නාහිමි නමක් විසින් බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් නීතිය නිසි පරිදි

ක්‍රියාත්මක වන්නේ දැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙම සිදුවීම වාර්තා වූ දිනයේ සිට නියාමන කටයුතු සිදු කරමින් සිටින අතර ඉදිරියට ද මෙම බාලවයස්කාර දැරියගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි සහ ඇයට යුක්තිය ඉටුවන පරිදි මෙම විමර්ශන කටයුතු සිදුවනවා දැයි නියාමනය කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී ළමයාගේ උපරිම යහපත වෙනුවෙන් සුදුසු පියවර ගැනීමට සූදානම්’ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිවේදනය කර තිබේ.

එම නිවේදනය මඟින් අවධාරණය කර ඇති ප්‍රධාන කරුණු මෙසේය:

කිසිදු බලපෑමක් නැත:
මෙම ආන්දෝලනාත්මක සිද්ධියේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අධිකාරිය වෙත බාහිරින් කිසිදු පාර්ශවයකින් බලපෑමක් හෝ පීඩනයක් එල්ල වී නොමැති බව ප්‍රකාශ කර ඇත.


අඛණ්ඩ නියාමනය:
නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වන බව සහ දැරියගේ අයිතිවාසිකම් රැකෙන බව සහතික කිරීම සඳහා සිද්ධිය වාර්තා වූ දින සිටම අධිකාරිය දැඩි අවධානයෙන් පසුවන බව දක්වා තිබේ.

වින්දිත දැරියගේ ආරක්ෂාව:
වින්දිත දැරිය මේ වන විට විශේෂිත ළමා ආරක්ෂක මධ්‍යස්ථානයක පූර්ණ ආරක්ෂිත පරිසරයක් යටතේ රැකවරණය ලබන බව තහවුරු කර ඇත.


මහජනතාවගෙන් ඉල්ලීමක්:
මෙම සිද්ධිය මුල් කරගනිමින් අනවශ්‍ය මහජන කැළඹීම් හෝ නොසන්සුන්තා ඇති නොකරන ලෙසත්, එවැනි කැළඹීම් අධිකරණ ක්‍රියාවලියට බාධාවක් විය හැකි බවත් දන්වා සිටියි.

මේ අතර බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කළ, දැනට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් ලබන 22 වන දා අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න කොළඹ රක්ෂිත බන්ධනාගාර අධිකාරිවරයාට අද (මැයි 15) නියෝග කළේ ය.



දැරියගේ මවගේ ඇප ඉල්ලීම ඉවතට

මේ අතර, සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයක් සඳහා චේතාන්විතව ම මුදලට ලබා දුන්නේ යැයි කියන චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වින්දිත දැරියගේ මව ඕනෑ ම ඇප කොන්දේසියක් මත මුදා හරින ලෙස ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ප්‍රදීප් දිසානායක අධිකරණයෙන් කළ ඉල්ලීමක් තරයේ ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර මව මේ මස 22 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කළේ ය.


සැකකාර අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට තම බාලවයස්කාර දියණිය බරපතළ ලිංගික අපයෝජනයක් සඳහා චේතාන්විතව ම මුදලට ලබා දීම, තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ අපරාධයට ආධාර අනුබල දීම මවට එල්ල වී ඇති චෝදනාවේ.


මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (මැයි 15) යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් නිට්ටඹුව පොලිසිය කියා සිටියේ, මෙම සිද්ධියට අදාළ විමර්ශන මේ වන විට අවසන්ව ඇති බව ය.

ඒ අනුව, අදාළ විමර්ශනවල උදෘත නීතීපති උපදෙස් සඳහා යවා ඇති බව ද අධිකරණයට දැනුම් දුන් නිට්ටඹුව පොලිසිය මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද දන්වා සිටියේ ය.

කොළඹ මැගසින් බන්ධනාගාර අධිකාරිවරයා අනුරාධපුර බන්ධනාගාර අධිකාරි ප්‍රසාද් ප්‍රේමතිලක මගින් එවා තිබූ සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් බන්ධනාගාර නිලධාරීන් පවසා සිටියේ, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට භාජනය වෙමින් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ය.

නාහිමි වෙනුවෙන් ඇප ඉල්ලීමක් නොකරයි

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සදහන් කළේ, තම සේවාදායක සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් අද දින ඇප ඉල්ලීමක් සිදු නොකරන බව ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කඩිනම් කරන ලෙසට පොලිසියට නියෝග කරන්නැයි ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

සියලු පාර්ශ්වවල කරුණු සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න, මෙම නඩුව යළි එළැඹෙන 22 වන දින කැඳවීමට තීන්දු කරමින් පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් එදිනට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරනු ලැබී ය.

වින්දිත බාලවයස්කාර දැරියගේ සැකකාර මව ඇප මත මුදාහැරීම ද මෙහිදී ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇය ලබන 22 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එම්. අනුර ගුණවර්ධන සමග ගම්පහ කොට්ඨාස පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනිෂියා ප්‍රේමරත්න සහ නිට්ටඹුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්න පෙනී සිටියහ. අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීර සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී උපපොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද ද ඊට සහය වූහ.

සැකකාර පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සමග ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන් වන රංජිත් රාජකරුණා, සජීව ගුණරත්න, මහේෂ් කොටුවැල්ල, චාන්දනී හටන්ගල, හේමන්ත ගමගේ, ආරියරත්න වික්‍රමආරච්චි, ධනුෂ්ක දහම්පත්, රේණුකා වික්‍රමාරච්චි, මදාරා විජේසිංහ සහ ජයලත් අබේසිංහ, සුරංග මොහොටිටි සහ අමිල කොලොන්නආරච්චි යන නීතිඥවරුන් 20 දෙනෙක් පමණ පෙනී සිටියහ.

වින්දිත දැරියගේ මව වෙනුවෙන් නිතීඥ ප්‍රදීප් දිසානායක පෙනී සිටියේ ය.


දූෂණයට ලක්වූ බව කියන බාලවයස්කාර වින්දිත දැරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් කිසිදු නීතීඥවරයෙකු හෝ වෙනත් කිසිදු බාහිර පාර්ශ්වයක් පෙනී සිටියේ නැත.


මෙම සිද්ධියේ පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන් මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ලබා දුන් නියෝගයකට අනුව ය. ඉකුත් 12 වන දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, සැකකාර පල්ලේගම හේමරතන හිමියන් පෞද්ගලික රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබුවේ ද, කොටුව මහේස්ත්‍රාත්වරයා ලබා දුන් නියෝගයක් මත ය.

පළමු සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 365 (ආ) (2) (ආ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකිරීම සහ 1995 අංක 22 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 364 (2)(ඉ) වගන්තිය ප්‍රකාරව බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණයක් සිදුකිරීමේ චෝදනා යටතේ ය. 


මේ අතර, බාලවයස්කාර වින්දිත දැරියගේ මවට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කොට ඇත්තේ, 2006 අංක 16 දරන දණ්ඩ නීතී සංග්‍රහ සංශෝධන පනතේ 360 (ඇ)(1)(අ) වගන්තිය ප්‍රකාරව, තැනැත්තන් වෙළෙඳාම් කිරීම සහ පළමු සැකකාර පල්ලේගම හේමරත්න හිමියන්ට ඉහත චෝදනා සඳහා ආධාර අනුබල දීම යටතේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here