මාධ්‍යවේදිනි සුලෝචනාගේ ඉරාන නාවික ප්‍රශ්නය පොලිස් කොමිසමට

0
15

ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයට ලක්ව මුහුදුබත් වූ ඉරාන නෞකාවේ සිටි නාවිකයන්ගෙන් තොරතුරු ලබාගැනීමේදී

පොලිසියේ බාධා කිරීමට ලක් වී යැයි කියන සිදුවීම සම්බන්ධයෙන් තමා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ල ජාතික පොලිස් කොමිසමට යොමු කර ඇතැයි ‘සිලෝන් ටුඩේ’ මාධ්‍යවේදිනි සුලෝචනා රාමයියා මොහාන් ‘ද ලීඩර්’ ට පැවසීය.

ජාතික පොලිස් කොමිසමට මෙසේ යොමු කර ඇත්තේ ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටියදී පොලිස් භාරයට ගැනීමෙන් මෙම තත්ත්වය සිදු වූ බව කියමින් මාධ්‍යවේදිනිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කළ පැමිණිල්ලයි.

පොලිසීයේ යැයි කියූ පිරිසක් තම රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ගාල්ල පොලිසියට ද තමා පැමිණිල්ලක් කළ බව මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා මොහාන් කීය.


අදාළ නාවිකයන් මුණගැසී එම ස්ථානයේ සිටි ඉරාන තානාපති කාර්යාල නිලධාරිනියකගේ භාෂා පරිවර්තන සහායෙන් නිසියාකාරව තොරතුරු ලබාගනිමින් සිටි අවස්ථාවේ ඇය මෙම සිදුවීමට මුහුණ පෑ බවත් මෙම සිදුවීම හෙලා දකින බවත් කියමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම අවස්ථාවේ නිවේදනයක් ද නිකුත් කළේය.


එහිදී රාජකාරියට බාධා කළ පොලිසියේ අයෙකු සහ ආරක්ෂක නිලධාරියකු තමාට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව ද මාධ්‍යවේදිනිය පැවසුවාය.

පසුව මේ සම්බන්ධයෙන් තමා පොලිස්පතිවරයාට දුරකථනයෙන් දැනුම් දුන්නේ යැයි ද ගාල්ල පොලිසියට පැමිණිලි කළේ ඉන් අනතුරුව යැයි ද ඇය සඳහන් කළාය.

මාධ්‍යවේදිනී සුලෝචනා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ  ගාල්ල පොලීසියෙන් විමසූ විට සඳහන් කරන ලද්දේ එවැනි පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

තමන් කළ  පැමිණිල්ලෙහි අංකයද ලබා නොදුන් බව සුලෝචනා පවසයි.

මෙම සිදුවීම නිදහසේ වෘත්තීය කටයුතුවල නියැලීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිදු කළ අනවශ්‍ය පොලිස් මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කියයි.

මෙම සිදුවීම දැඩිව හෙළා දකින බවත් මේ ගැන වහාම පියවරක් ගන්නැයි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.

(සටහන | ගිම්හාන් ද සිල්වා) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here