‘මම දැරිය වෙනුවෙන්’ – ඇමැතිනි පෝල්රාජ් කියයි

0
20

අපයෝජනයට ලක් වූ දැරියගේ සිදුවීමේදී විෂය භාර ඇමතිනිය හැටියට තමා කොන්දේසි විරහිතව වින්දිත දැරිය වෙනුවෙන්

පෙනී සිටින්නේ යැයි කාන්තා හා ළමා කටයුතු ඇමැතිනි සරෝජා පෝල්රාජ් පැවසීය.

වාර්තා වන සෑම සිදුවීමක් සම්බන්ධයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වීමට අදාළ රාජ්‍ය ආයතනවලට ජාතික ජනබලවේග ආණ්ඩුව අවස්ථාව සලසා ඇතැයි ඇමැතිනිය අවධාරණය කළාය.

මෙම සිදුවීමේදී පොලිස් අපරාධ විමර්ශකයන් අවශ්‍ය වේගයෙන් ක්‍රියා කළේදැයි කළ විමසීමට පිළිතුරු වශයෙන් ඇය මේ බව පැවසුවාය.

මෙම සිදුවීමේදී තමා පෙනීසිටින්නේ පොලිසිය හෝ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් නොවන බව කී ඇය වින්දිත දැරියගේ උපරිම යහපත වෙනුවෙන් කැපවන බව අවධාරණය කළාය.

එහිදී ළමා ආරක්ෂක අධිකාරියට උපරිම මැදිහත්වීම කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇතැයිද නීතිය ක්‍රියාත්මක කරන එම නිලධාරීන් ආරක්ෂා කිරීමට තමා පෙනී සිටින්නේ යැයි ද පෝල්රාජ් ඇමතිවරිය පැවසුවාය.

නීතිය ක්‍රියාත්මක කිරීමේදී බලපෑමක් කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොදෙන බවට තමා සහතික වන්නේ යැයි ද විෂය භාර ඇමතිනිය වැඩිදුරටත් පැවසුවාය.



‘අපයෝජන සිද්ධියේ විමර්ශනයේදී දැරියට වෙනස් කොට සැලකීමක්’- රෝහිණි කවිරත්න

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කවිරත්න පවසන්නේ, 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියේ විමර්ශනවල පමාව දැරියට වූ වෙනස් කොට සැලකීමක් බවයි.

කිසිදු තැනැත්තකුගේ නිල ඇඳුම හෝ තනතුරක් මත නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනසක් විය යුතු නැතැයි ද මන්ත්‍රීවරිය කීවාය.

බාලවයස්කාර දැරියගේ සිදුවීමේ විමර්ශන ක්‍රියාවලිය ගැන කළ විමසීමේදී ඇය මේ බව කීවාය.

ළමා ආරක්ෂක අධිකාරිය වැනි ආයතන තවදුරටත් ශක්තිමත් විය යුතු බවට මෙය හොඳ උදාහරණයක් බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කළ බවට චෝදනා ලැබ සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි පසුගිය මැයි 8දා නවලෝක රෝහලේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර 12 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

( mawbima | බිඟුන් මේනක ගමගේ ) 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here