කාන්තා ව්‍යවසායකයින් බලගැන්වීමට WCIC සහ PIM අත්වැල් බැඳගනියි

0
24

කාන්තා මූලිකත්වයෙන් යුත් නව ව්‍යාපාර සඳහා සහාය වීම, කාන්තාවන් සතු ව්‍යාපාරවල වර්ධනය වේගවත් කිරීම සහ රටේ ආර්ථිකයට ධනාත්මක දායකත්වයක් ලබා දීම අරමුණු කරගත් ‘Inspire’ඒකාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ආයතන දෙක මේ මස මුලදී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබීය.

ව්‍යාපාරික දැනුම ලබා ගැනීමේ සිට මූල්‍ය පහසුකම් හඳුනා ගැනීම, වෙළෙඳපොළට ගැළපෙන නිෂ්පාදන සංවර්ධනය කිරීම සහ වාණිජ සබඳතා ගොඩනඟා ගැනීම දක්වා ව්‍යවසායකයින් මුහුණ දෙන ප්‍රායෝගික බාධක ජය ගැනීමට මෙම හවුල්කාරිත්වය තුළින් අපේක්ෂා කෙරේ.

මෙම සහයෝගීතාවයේ කේන්ද්‍රස්ථානය ලෙස කටයුතු කරන්නේ මීළඟ පරම්පරාවේ ව්‍යවසායකයින් බිහි කරන PIM ආයතනයේ ව්‍යාපාරික පුර්වගාමී මධ්‍යස්ථානය වන PIM Genesis ආයතනයයි. ඒ හරහා කාන්තා ව්‍යවසායකයින්ට වැඩබිම් පහසුකම්, ව්‍යාපාරික මඟපෙන්වීම, පුහුණුව මෙන්ම ආරම්භක ප්‍රාග්ධනය ඇතුළු මූල්‍ය පහසුකම් වෙත ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමට නියමිතය.

ව්‍යාපාර ක්ෂේත්‍රයට පළමු පියවර තබන කාන්තාවන් වෙනුවෙන් නීතිමය අවශ්‍යතා, ගිණුම්කරණය සහ බදුකරණය පිළිබඳ පුහුණුව මෙන්ම කර්මාන්තයට අදාළ විශේෂිත මඟපෙන්වීම් ද ලබා දීමට යෝජිතය. ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී වැය වන කාලය, පිරිවැය සහ අවදානම අවම කරමින් ඔවුන්ට ඊට සාර්ථකව මුහුණ දීමට සහාය වීම මෙහි අරමුණයි.

එමෙන්ම, දැනටමත් ව්‍යාපාර පවත්වාගෙන යන කාන්තාවන්ට තම ව්‍යාපාරික දැනුම ශක්තිමත් කර ගැනීමට, වෙළෙඳපොළට ගැළපෙන නව නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා අවශ්‍ය ජාලගත සබඳතා ගොඩනඟා ගැනීමට මෙමගින් අවස්ථාව හිමි වේ. විශේෂයෙන්ම තරුණ කාන්තා ව්‍යවසායකයින් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇති අතර, ව්‍යාපාරයක් ගොඩනැගීමේ තීරණාත්මක මුල් අදියරේදී ඔවුන්ට අවශ්‍ය තාක්ෂණික සහාය සහ මඟපෙන්වීම ලබා දීමට නියමිතය.

ප්‍රවීණයන්ගේ උපදෙස් සහ ව්‍යාපාරික ජාලයන් වෙත ප්‍රවේශ වීම තුළින්, සිය ව්‍යාපාරික අදහස් තවදුරටත් ඔප්නංවා ගැනීමටත්, වඩාත් නිවැරදි තීරණ ගැනීමටත්, ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ වර්ධනය කිරීමට අවශ්‍ය අරමුදල් රැස් කර ගැනීමේ මාර්ග හඳුනා ගැනීමටත් සහභාගීවන්නන්ට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වසරක ආරම්භක කාලසීමාවක් සඳහා අත්සන් තබා ඇති මෙම අවබෝධතා ගිවිසුම, දෙපාර්ශ්වයේම එකඟතාවය මත ඉදිරියටත් දීර්ඝ කිරීමට හැකියාව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here