අගමැතිනිය, අනුරාධපුර මහ නාහිමිවරු බැහැදකී

0
12

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් අනතුරුව පළමු වරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් අනුරාධපුර මහා නායක හිමිවරු සහ ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි මහා සෑය වන්දනා කර ආශිර්වාද ලබා ගත්තාය.

ප්‍රථමයෙන්ම අග්‍රාමාත්‍යවරිය නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තාය. මෙහි දී අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම් හේමරතන හිමියන් අග්‍රාමාත්‍යවරියගේ පැමිණීම විශේෂයෙන් ඇගයුමට ලක්කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑ නායක ස්වාමීන් වහන්සේ වන සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තාය.

මෙහිදී රුවන්වැලි මහ සෑ නාහිමියන් සමඟ අග්‍රාමාත්‍යවරිය කෙටි පිළිසඳරක යෙදුණු අතර පූජ්‍ය ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමියන් කෙටි අනුශාසනාවක් කරමින් අටමස්ථාන ආශ්‍රිතව පවතින ප්‍රවාහන සහ සනීපාරක්ෂක පහසුකම් ගැටලු සම්බන්ධව අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ. එමෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසත් රජරට විශ්ව විද්‍යාලයට නව භාෂා පීඨයක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳවත් අග්‍රමත්‍යවරිය දැනුවත් කළහ.

අනතුරුව අග්‍රාමාත්‍යවරිය රුවන්වැලි මහා සෑය වන්දනාමාන කළාය.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කොට අශිර්වාද ලබා ගත්තාය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන සහ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරියද සම්බන්ධ වුහ.

(යොහාන් භාසුර)

lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here