ප්‍රසිද්ධ යුවළකගේ පොඩ්කාස්ට් වැඩසටහනකට සමාජ මාධ්‍ය විරෝධයක් ! – කාන්තා හිංසනයක් යනු කුමක් ද? වින්දිතයන්ට වරද පැටවිය හැකි ද?

0
30

කාන්තාවන්, පිරිමින් අතින් හිංසනයට ලක්වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර

තිබූ වීඩියෝවක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඔහු සහ ඔහුගේ බිරිඳ සහභාගී වූ පොඩ්කාස්ට් වැඩසටහනක සංස්කරණය කළ මිනිත්තුවක පමණ වීඩියෝ කොටසක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ එලෙස පළ කර තිබූ අතර, එහි ඔහුගේ බිරිඳ විසින් කාන්තා හිංසනයන් සිදු වන ආකාරය පිළිබඳ සිදු කරනු ලබන ප්‍රකාශයක් මෙලෙස දැඩි විවාදයකට තුඩු දී ඇත.

එම ප්‍රකාශය වින්දිතයන් මත වරද පැටවීමක් බවට පවසමින් සමාජයේ විවිධ රැකියා සිදු කරන විවිධ තලවල ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය ම සිය පෞද්ගලික අත්දැකීම් ද ගැන ද සඳහන් කරමින් විවේචනය කර තිබිණි.

පසුව ඔවුන් එම වීඩියෝව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවට නිරීක්ෂණය විය.

වීඩියෝවේ සඳහන් ප්‍රකාශය කුමක් ද?

“අද ඔෆිස් ගිහිල්ලා එන ගෑනු කෙනෙකුගෙන් බස් එකේ යන ඩිංගටවත් යන්න බෑ කියන කරණාවල්, එමට දේවල් තියෙනවානේ අපේ සමාජයෙන් එහා ගිය. එතකොට ඒක ඇතුළේ මම කතා කළොත්, කිව්වොත්, කොයි වෙලාවකවත්, පිරිමියෙක් මොන උවමනාව තිබ්බත් ගෑනියෙක්ගේ එක බැල්මක්, ඇඳුමකින් හරි සිග්නල් එකක් නැත්නම්, කිසි ම පිරිමියෙක්… රේප් කිරීම වෙන දෙයක්. බලෙන් ගෙන යාමක්නේ එතකොට. ඒක නැතුව කිසිම පිරිමියෙකුගෙන් ගෑනියෙකුට කරදරයක් වෙන්නේ නෑ.

එහෙම නැතුව බලහත්කාරයෙන් කිරීම කියන දේ ඉතින් අපිට තර්ක කරන්න බෑ. ඊට අමතරව අපි දෙන සිග්නල්වලින්මයි අපි එතනට වැටෙන්නේ.

හැබැයි අපේ ගෑනු, ඒ හැකියාව තියෙනවා කියන එකෙන් ආත්මතෘප්තියක් කර ගන්නවා. ඒක නොකරන ගෑනිට කවුරුත් අටෙන්ෂන් නෑ, එහෙම කෙනෙක් නිසා නෙමේ, එයාට එක ඕන නැති හින්දා. ඒක ඕනේ නැති නිසා එයා තැන්පත් විදිහට ජීවත් වෙන්නේ.

හෙට උදේ එයාට පුළුවන් ස්කිනි එකක් ගහගෙන හරි මොනවා හරි කරගෙන අවුස්සගන්න. ඕනෑ ම ගෑනියෙකුට ඒක පුළුවන් කරන්න. හැබැයි නොකරන්නේ තමන්ට අවශ්‍ය නැති නිසා. දැන් මේ අනිත් හැම ගෑනි ම ඒක ඇඳගෙන ගිහිල්ලා කවුරු හරි එහෙන් මෙහෙන් බැලුවා ම ඒකෙන් ගන්න ආත්මතෘප්තියට එයා පොර කියලා හිතන්නේ. රෑ ඉවෙන්ට්ස් හැම තැනක ම මම දකින දෙයක් තමයි මේ අඳින්න කියන දේ, තමන්ගේ මහත්තයට ඒක ලකුණක් නෙමෙයි.”

මේ, සජීව් රාජපුත්‍රගේ බිරිඳ ආදාළ වීඩියෝවේ සිදු කළ ප්‍රකාශයේ උපුටා ගැනීමකි.

කාන්තා හිංසනයක් යනු කුමක් ද?

2025 මාර්තු 5 වන දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාරව එවකට වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ රේණුකා ජයසුන්දර කාන්තා හිංසනය අර්ථ දැක්වූයේ මෙසේ ය.

“දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට එක්වුණු නව සංශෝධන අනුව, කෙනෙකුගේ කැමැත්ත නොමැතිව ලිංගිකත්වය අරමුණු කරගෙන සිදු කරන අඩන්තේට්ටමක්, වාචික, කායික හෝ මානසිකව වෙන එවැනි සිද්ධියක් නිසා යම් කෙනෙක් ලැජ්ජාවට, අප්‍රසන්තාවට, බියට පත්වෙනවා නම් එතන ලිංගික අතවරයක් වෙලා තියෙනවා.”
පොදු ප්‍රවාහන සේවයේදී සිදුවන හිංසන ද ඒ අනුව කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසන ලෙස අර්ථ දැක්විය හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරිය පැහැදිලි කළා ය.
“අනවශ්‍ය ලෙස ස්පර්ශ කිරීමකින්, ඇය සම්බන්ධයෙන්, ඇගේ ශරීරයේ කොටසක් සම්බන්ධයෙන් කරන වාචික ප්‍රකාශයකින් කාන්තාව ලැජ්ජාවට, අපහසුතාවට, අප්‍රසන්නතාවකට පත්වෙන හැම සිදුවීමක් ම ලිංගික අතවරයක් වෙනවා.”

පසුගිය වසරේ එක් මසක් තුළ පමණක් පොලිසියේ උපාය දූතයන් බස් රථවල යෙදවීමෙන් සැකකරුවන් 35 දෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර එහිදී පැවසුවා ය.

පොලිසිය එම සිදුවීම්වලින් අනාවරණය කර ගත් ආකාරයට සහ දෛනිකව ලැබෙන පැමිණිලි නිරීක්ෂණය කිරීමේදී මෙම සිදුවීම් සිතාමතා කරන හිංසනයන් බවට නිරීක්ෂණය වන බව ඇය සඳහන් කළා ය.

“පොදු ප්‍රවාහනයේ තියෙන තදබදය නිසා හෝ අනෙකුත් ප්‍රශ්න නිසා ඇති වෙන දෙයක් නොවෙයි. හිතාමතා කාන්තාවකගේ පෞද්ගලිකත්වයට තියෙන අයිතිය ඉක්මවලා යාමක් මෙතනදි සිදුවෙන්නේ. බස් රථයට නංවා ගන්න තැන ඉඳලා මේක වෙනවා. අපි ගියත් කොන්දොස්තර අල්ලලා තමයි බස් එකට නග්ග ගන්නේ ම.”

කෙසේ නමුත්, වර්තමානය වන විට මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට කාන්තාවන් වැඩි වශයෙන් පෙළඹෙන බව නිරීක්ෂණය වන බව ඇය පැවසුවා ය.

“2023 වසරේ වාර්තා වෙලා තියෙන කාන්තා හිංසන 2,252න් 262ක් පොදු ප්‍රවාහනයේදී සිදුවෙලා තියෙන්නේ. 2024 වසරේදී වාර්තා වූ කාන්තා හිංසන පැමිණිලි 2,785කින් 289ක් පොදු ප්‍රවාහනයේදී සිදුවූ හිංසන.”

එමෙන් ම, මෙවැනි සිදුවීම් දිගින් දිගට ම සිදුවීම සමාජය තුළ කාන්තාව සම්බන්ධයෙන් මුල් බැසගෙන තිබෙන වැරදි අදහස නිසා සිදුවන්නක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජික කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ මහාචාර්ය ෆාරා හනීෆා 2025 මාර්තු 5 වන දා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා ය.

“අපි බස් එකක යන විට හිරිහැරයක් සිදුවීම කියන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි හිරිහැරයකට භාජනය වීම සෑම ස්ත්‍රියකට ම ලැබිලා තියෙන අත්දැකීමක්. ඒක දැන් සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා අපට කියන්න බෑ, ඒක තනි පුද්ගලයෙකුගේ හේතුවක් නිසා වෙන දෙයක් කියලා,” ඇය පැවසුවා ය.

“අපි සමාජය දිහා බැලුව ම පුරුෂයෙකුට ස්ත්‍රියකට මෙහෙම සලකන්න පුළුවන් කියලා ලයිසන් එකක් දීලා තියෙනවා වගේ එකක් තියෙනවා.”

සමාජය තුළ නිතර දක්නට ලැබෙන ආදර්ශයන් මෙම තත්ත්වය ඇති කිරීමට අවශ්‍ය මනෝභාවයට බලපා ඇතැයි ඇය පැවසුවා ය.

සමාජ මාධ්‍යවලින් එල්ල වන විරෝධය

මේ වන විට බොහෝ දෙනෙකු සිය පෞද්ගලික අත්දැකීම් ගැන සඳහන් කරමින් සජීව් රාජපුත්‍රගේ බිරිඳ සිදු කළ ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ.

ශෙනූ පෙරේරා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි තැබූ සටහනක් පහතින් දැක්වේ.

ශෙනූ පෙරේරා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි තැබූ සටහනක්. එහි මෙසේ සඳහන් වේ.

“1. මේ කාන්තාවට සාමාන්‍ය ගැහැනියකට, පොදු ප්‍රවාහනය භාවිතා කරන රැකියාවට යන ගැහැනුන්ගෙ ඉඳලා පාසල් යන පොඩි දුවලගෙ වෙනකන් සාමාන්‍ය ගැහැනු/ දැරිවියකගෙ ජීවිතය ගැන අබ ඇටයක අවබෝධයක් නැහැ.

එහෙමත් නැත්තම් මේ කාන්තාව තමන්ට ලකුණු දාගන්න උවමනාවෙන් තමයි මේ කතාව කියන්නෙ. ඇය දිගින් දිගටම “ඇගේ වයසෙ ගෑනුන්ට හැදෙන තත්වයන්” ගැන අදහස් කියනවා. ඇය හිතනවා එහෙම කියන එකෙන් ඇය ආදර්ශමත් සහ බලගතු (?) ගැහැනියක් විදිහට පේන්න පටන්ගන්නවා කියලා.

2. මේ කාන්තාවට බලය ක්‍රියාත්මක වීම ගැන කිසිම අවබෝධයක් නැහැ. ගෑනු ඔරවලා බැලුවම පිරිමි මෙල්ල වෙනවා වගේ සුරංගනා කතන්දර ඇහෙන ලෝකයකින් ඇය එන්නෙ.

3. බස්වලදි, ඔෆිස්වලදි, පල්ලියෙදි, කැම්පස් එකේදි, රෝහලේදී සහ ලෝකේ ඕනම තැනකදි ගැහැනුන්ට සිද්ධ වෙනවා පිරිමින්ගෙන් බේරෙන්න සූදානම්ව ඉන්න. ඒක විහිළුවක් හෝ අතිශයෝක්තියක් නෙමෙයි. මේ කාන්තාවට ඒ ගැන කිසිම අවබෝධයක් නැති එක කමක්නැහැ ඒත් මෙයාලගෙ අදහස් අහන්න මයික් දික් කරන අජපල් අබිලිංලා ඉන්න එක කණගාටුවට කරුණක්. මේ පෝස්ට් එක ශෙයාර් කරලා තියෙන මිනිස්සු සහ එයාලගෙ අදහස් දිහා බලන්න. කාන්තාවන් කොච්චර අනාරක්ෂිතද කියලා තේරුම්ගන්න ඒකත් ඇති.

4. මම අද උදේ දැක්කා ඇමරිකානු තරුණියක් ටික්ටොක් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඇය දුර ගමනක් ගිහින් බස් එකෙන් ඇවිත් බැහැපු බවක් තමයි පෙනුණෙ. ඇය වීඩියෝ

එකේ පිරිමි දෙන්නෙක්ව පෙන්නනවා. ඇය කෑ ගගහා කියනවා “මේ දෙන්නා මාව ෆලෝ කරන් මගේ පස්සෙන් එනවා. මෙයාලා ඒක නැවැත්තුවෙ මම ඇඳගෙන ඉන්න ලේ ගෑවුණු පෑඩ් එක කලිසමෙන් ඇදලා අරගෙන ඒක එක අතකින් සහ පෙපර් ස්ප්‍රේ එක තව අතකින් අරන් පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තමයි. මුං සත්තු” කියලා.
මේ වීඩියෝව ටික්ටොක් එකේ ඇති. ගිහින් බලන්න.

ඒක බලලා ඇවිත් මේක දැක්කම ඇඬෙනවා. මොක්කුද මේ කියලා හිතෙනවා. මේ කාන්තාව ගැන දැනෙන අප්‍රසාදය අසීමිතයි.

5. “කතාබහෙන්, ඇඳුමෙන් හෝ හැසිරීමෙන් තමන් තමන්ට දෙන ගෞරවයම තමයි ලෝකය ඔබට දෙන්නෙ” වගේ බණ කියන්න සජීවට සහ එයාගෙ බිරිඳට පුළුවන්. හැබැයි සාමාන්‍ය ලෝකයේ ගෑනු සහ පිරිමි දන්නවා පාසල් නිළ ඇඳුමෙන් ගෙදරින් යන පොඩි දුවත්, සම්පූර්ණ ඇඟ වැහෙන්න ඇඳගෙන රැකියාවට යන විශ්‍රාම යන්න ආසන්න මවත් දෙන්නම අනාරක්ෂිත ලෝකයකයි අපි ඉන්නෙ කියලා.

මේ තරම් අශිෂ්ට, අසංවේදී කතාවලට හුරේ දාන්න එපා!”

අමාවී සිල්වා ද මේ සම්බන්ධයෙන් ෆෙස්බුක් සටහනක් තබා තිබූ අතර එහි මෙලෙස සඳහන් වේ.

අමාවී සිල්වා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි තැබූ සටහනක්. එහි මේ සඳහන් වේ.

“Sajeev Rajaputhra,

එතකොට මට වයස අවුරුදු හයක් විතර ඇති. මමයි, අවුරුදු තුන හතරක් වයස මගේ මල්ලියි හිටියේ අපේ වාහනේ ඇතුලේ. විනාඩි පහක දහයක හදිසි වැඩකට තාත්තා අපේ වාහනේ පාර අයිනේ නවත්තලා ඉස්සරහ කඩේට ගිහින් හිටියා. අපේ වාහනේට එහා පැත්තෙන් උස ලොරියක් නවත්තලා තිබුණා. ඩ්‍රයිවින්ග් සීට් එකේ අපේ තාත්තාගේ වයසේ අංකල් කෙනෙක් වාඩිවෙලා හිටියා. ටිකකින් එයා නවත්තලා තිබ්බ වාහනේ ‘ගියර්’ දාන්න ගත්තා. ඇත්තම කිව්වොත් මට හිතන්න පුලුවන් වුණේ එයා ඒ ‘ගියර් දානවා’ වෙන්න ඕනේ කියලා විතරයි. ඒත් ටිකකින් මට තේරුණා එයා ඒ දාන්නේ ගියර් නෙමෙයි කියලා. “අනේ පව්. ඒ අංකල්ගේ කලිසමේ සිප් එක කැඩිලාද කොහෙද. මං එයා දිහා බලන්න ගියොත් එයාට ලැජ්ජ හිතෙයි. ඒ නිසා මං අහක බලාගෙන ඉන්න ඕනේ” කියලා මට හිතුණා. ඉතින් මට ඒ අංකල් ගැන ඇති වෙච්ච දුකයි අනුකම්පාවයි නිසා මං එයා දිහා නොබලා හිටියා. අපේ තාත්‍තා ආපහු වාහනේට එනවත් එක්කම ඒ අංකල් යන්න ගියා.

සජීව්, අද ඔයාගේ නෝනා කියනවා ඇහුණා “ගෑනියෙක්ගේ එක බැල්මක් නැත්තං කිසිම පිරිමියෙක්ගෙන් ගෑනියෙක්ට කරදරයක් වෙන්නෑ” කියලා. එදා ඒ අංකල් මට පේන්න ‘ගියර් දැම්මේ’ අවුරුදු හයක් වෙච්ච මගේ මොන බැල්ම නිසාද කියලා මං කල්පනා කරනවා.

සජීව්,
එතකොට මට වයස අවුරුදු දොළහක් විතර ඇති. ඉරිදාට තියන ස්විමින්ග් ප්‍රැක්ටිස් ඉවර වෙලා මමයි අම්මායි ගෙදර එන්න හවස කෝච්චියට නැග්ගා. කෝච්චියේ කට කපලා සෙනඟ. මම එදා ඇඳගෙන හිටියේ ඒ දවස්වල මගේ ආසම ගවුම. ඒක සුදු පාට පසුබිමේ රතු පාට බෝල වැටිච්ච බෝරිච්චි අත් දාපු, දනිහ වැහුණු ගවුමක්. ගවුමේ පහල වාටිය හැඩ වෙලා තිබුණේ දුඹුරු පාට ටෙඩි බෙයාර්ලා පේලියකින්. කෝච්චි පෙට්ටියේ දොර ගාව තිබුණ පොල්ල තදින් අල්ලගෙන මම හුස්ම හිරවෙන තරම් හිර වෙලා හිටියා. ටික වෙලාවකින් පිටිපස්සේ හිටිය මනුස්සයා මගේ ඇඟට එන්න එන්න තද වෙනවා මට දැනුණා. සෙනඟ පිරිච්ච කෝච්චියක වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. ඒත් තව ටිකකින් ඒ මිනිහා මගේ අත අතගානවා දැනෙන්න ගත්තා. මං අත ගැසුවා. මිනිහා අත ගත්තා. තව ටික වෙලාවකට පස්සේ ඒ මිනිහා ආයෙම මගේ අත අතගාන්න ගත්තා. මම ආයේම ගැසුවා. එයා නැවැත්තුවා. ආයේම පටන් ගත්තා. මම අත ගැහුවා… එයා නැවැත්තුවා… ආයේ පටන් ගත්තා…. මං අම්මාව හෙව්වා. සෙනඟ අස්සේ අම්මා ඈතට තල්ලු වෙලා ගිහින් තිබුණා. මගේ පපුව ගැහෙමින් තිබුණා. මං බය වෙලා හිටියා. නාඳුනන පිරිමියෙක් මාව අල්ලපු පළවෙනි වතාව ඒ. අවුරුදු දොළහක දරුවෙක් විදිහට ඒ වෙලාවේ මොකද කරන්නේ කියලා මම දැනගෙන හිටියේ නෑ. වාසනාවට කෝච්චි ගමන විනාඩි විස්සකින් ඉවර වුණා.

සජීව්,
අද ඔයාගේ නෝනා කියනවා ඇහුණා “ගෑනියෙක්ගේ එක සිග්නල් එකක් නැත්තං කිසිම පිරිමියෙක්ගෙන් ගෑනියෙක්ට කරදරයක් වෙන්නෑ” කියලා. එදා ඒ මගේ අත අතගෑවේ අයියෙක්ද අංකල් කෙනෙක්ද සීයා කෙනෙක්ද කියලා අදටත් මම දන්නෑ. මම ඒ මිනිහාගේ මූණවත් දකින්නැතුව මගෙන් ඒ මිනිහාට ලැබිච්ච සිග්නල් එක මොකද්ද කියලා මං කල්පනා කරනවා.

මේ, එම සටහනේ ඉතිරි කොටසයි.

අමාවී සිල්වා මේ සම්බන්ධයෙන් ෆෙස්බුක්හි තැබූ සටහනක්. එහි මේ සඳහන් වේ.

“එතකොට මට අවුරුදු දාසයක් විතර ඇති. මම හිටියේ දවල්ට ඉස්කෝලේ ඇරිලා, බස් එකේ ස්ටේශන් එකට එන ගමන්. මම ඇඳගෙන හිටියේ ඉස්කෝලේ සුදු ගවුම. අපේ සුදු ගවුමට තිබ්බේ බෙල්ල ගාවට ඉස්සුණු රවුම් කරක්, හාෆ්-ස්ලීව් ගවුම් අතක්, රැලි වැටුණු සායක්, බැජ් බකල් නැති බෙල්ට් එකක්. මම බස් එකේ ඉස්සරහම සීට් එකේ වාඩි වෙලා හිටියා. සීට් එකේ වාඩි වෙන කුෂන් එකයි පිට ඇන්දයි අතර චූටි හිඩැසක් තිබුණා. ටිකකින් මේ හිඩස අතරින් මගේ ඉණ හරියට මට යමක් දැනෙන්න ගත්තා. මුලින්ම ඒක දණිස්සක් ඇතිල්ලෙන ෆීලින්ග් එකක්. මම සීට් එකේ ඉස්සරහට තල්ලු වුණා. ටිකකින් ඒක ඇඟිල්ලක් වැදෙන ෆීලින්ග් එකක් වුණා. මම සීට් එකේ තව ටිකක් ඉස්සරහට තල්ලු වුණා. ඊටත් පස්සේ ඒක ඇඟිල්ලකින් හාරන ෆීලින්ග් එකක් වුණා. ඒ වෙලාවේ මම දුන්න වගේ සීට් එකෙන් නැගිට්ටා. පිටිපස්ස හැරිලා බලද්දි මං දිහා බාගෙට වැහිච්ච ඇස්වලින් බලාගෙන හිටියේ සීයා කෙනෙක්. මහ හපන්කමක් කරා වගේ එයා මං දිහා බලලා හිනාවක් දැම්මා. “ඔයාට මේ සීට් එක ඕනේ නිසා නං මාව හාරන්නේ, ඇවිත් මෙතන ඉඳගන්න” කියලා කියන තරමට මට ඒ වෙද්දි හයිය තිබුණා. ඊළඟට මම බස් එකෙන් බැස්සා.

සජීව්,
අද ඔයාගේ නෝනා කියනවා ඇහුණා “ගෑනියෙක්ගේ ඇඳුමක අවුලක් නැත්තං කිසිම පිරිමියෙක්ගෙන් ගෑනියෙක්ට කරදරයක් වෙන්නෑ” කියලා. එදා මං ඇඳගෙන හිටියේ කුණු ගෑවිච්ච, දාඩිය ගඳ ගහපු ඉස්කෝලේ යුනිෆෝම් එක. ඒ සීයාට මාව කොනිති ගහන්න හිතෙන්න තරම් කිසිම ලකයක් නැති මගේ සුදු ගවුමේ තිබුණ අවුල මොකක්ද කියලා මං කල්පනා කරනවා.

සජීව්,
දෙයියන්ගේ නාමෙන් ඔයායි ඔයාගේ නෝනායි ඔය ඉන්න උටෝපියාවටම වෙලා මල් මකරන්දය බිබී ඉන්න. මහ පොළවේ ජීවත් වෙන ගෑනු වෙච්ච අපිට දවස ගානේ සර්වයිවල් ගේම් එකක් ගහන්න තියනවා.

එමෙන් ම වින්දිතයා මත වරද පැටවීම සම්බන්ධයෙන් ද ඇතැම් අය විවේචනය කර ඇති ආකාරය නිරීක්ෂණය විය.


ෆෙස්බුක්හි ඉංග්‍රීසියෙන් තැබූ සටහනක්. එහි මේ සඳහන් වේ.

ඉංග්‍රීසි භාෂාවෙන් පල කර ඇති එම සටහනේ, “මෙතන දකින්න තියෙන කැත ම දේ තමයි, වැරදි දේවල් පෙන්නලා “වින්දිතයා! මත දොස් පැවරීම!,” යනුවෙන් සඳහන් කර ඇත.

“දූෂණයකදී, කිසි ම ගොදුරක් වැරදි නැහැ, කිසි ම ගොදුරක් තමන් ගොදුරක් කියලා පෙන්නලා දීලා නැහැ, අපරාධකරුවන් වැරදියි සහ දොස් පැවරිය යුතු බව අනිවාර්ය දෙයක්!”

“මතක තියාගන්න, ලිංගික ශ්‍රමිකයෙකුව පවා දූෂණය කළ හැකියි!,” ඔහු පවසයි.

“දූෂණය, අපයෝජනය, විෂමාචාරය හෝ හිරිහැර… සියල්ල සිදුවන්නේ වරදකරුගේ වැරදි හැසිරීම නිසා මිස වෙන කිසිවක් නිසා නොවේ!,” බුවනක ද සිල්වා අවධාරණය කර තිබේ.

‘ඇය කුමක් ඇඳ සිටියත් ප්‍රචණ්ඩත්වය පිළිගන්න බෑ’

කාන්තාවන්ට එරෙහිව සිදු වන අපරාධවලදී එම වින්දිතයන් මත වරද පැටවීම සිදු නොකළ යුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් පෙන්වා දී තිබේ.

නොවැම්බර් 25 වන දිනට යෙදෙන කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව එවකට මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ නවී පිල්ලේගේ 2013 වසරේ නිකුත් කළ ප්‍රකාශයක ද මේ බව දැක්වේ.

එහි, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිගන්නා සහ එය ඔවුන්ට සිදු විය යුතු දෙයක් බවට සිතන, පුද්ගල සමාජභාවය සම්බන්ධ ඒකාකෘතීන් ඉවත් කිරීමට සියලු දෙනා එක්ව වැඩ කළ යුතු බවට දැක්වේ.

එමෙන් ම ඇය පෙන්වා දී තිබෙන්නේ කාන්තාව කුමක් ඇඳ සිටියත් ප්‍රචණ්ඩත්වය කිසිසේත් ම පිළිගත නොහැකි බව ය.

වරක් බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවර පැවති ප්‍රදර්ශනයක විවිධ පුද්ගලයන් දූෂණයට ලක්වූ අවස්ථාවේ ඔවුන් ඇඳ සිටි ඇඳුම් ප්‍රදර්ශනය කර තිබුණේ, ඇඳුම් ප්‍රචණ්ඩකාරී ලිංගික අපරාධ සඳහා සාධකයක් වන බවට පවතින ‘මිථ්‍යා මතයට’ ප්‍රතිචාරයක් වශයෙන් ය.

එහි ඉතා කුඩා ළදරුවන්ගේ ඇඳුම් ද විය. දිගු සායවල්, දිගු කලිසම් ආදී සියලු ආකාරයේ ඇඳුම් එහි ප්‍රදර්ශනය කර තිබිණි.

UN Women සංවිධානය විසින් 2024 වසරේ නිකුත් කරනු ලැබ ඇති පැහැදිලි කිරීමක, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීමට ඔබට කළ හැකි දේවල් 10ක් දක්වා තිබේ.

එහි පළමුවන කරුණ යටතේ පැහැදිලිව ම දක්වා ඇති කරුණක් වන්නේ, යම් කාන්තාවක ඔබට ඇය මුහුණ දුන් ප්‍රචණ්ඩත්වයක් ගැන පවසනවා නම් ඇය එම අපයෝජන චක්‍රයෙන් මිදීමට පළමු පියවර ගෙන ඇති බව ය.

ලිංගික හිංසනය පිළිබඳ සිද්ධීන් සාකච්ඡා කිරීමේදී, වින්දිතයාගේ සන්සුන්භාවය, ඇඳුම් පැළඳුම් සහ ලිංගිකත්වය අදාළ නොවන බව මතක තබා ගැනීම වැදගත් බව එමගින් පෙන්වා දී තිබේ.

එම අපරාධයට එක ම හේතුව අපරාධකරු වන අතර, එහි වගකීම එම පුද්ගලයා තනිව දැරිය යුත්තක් බව එම ආයතනය පෙන්වා දෙයි.

මේ නිසා වින්දිතයා මත වරද පැටවීම හෝ, සම්ප්‍රදායිකව “භයානක” යැයි සලකන තත්ත්වයන් වළක්වා ගැනීමේ වගකීම කාන්තාව සතුව පවතින බවත් වන මතයට එරෙහි වන ලෙස ද ඉන් ඉල්ලා සිටියි.

පැමිණිලි කළ හැකි දුරකතන අංක

කාන්තාවන්ට එරෙහි මෙවැනි ආකාරයේ හිංසනයක් සිදුවන්නේ නම් පහත දුරකතන අංක අමතා ඒ සම්බන්ධයෙන් පැමිණිලි යොමු කිරීමේ හැකියාව තිබේ.

1938 – කාන්තා උපකාරක සේවය

109 – ළමා හා කාන්තා හදිසි ඇමතුම්

119 – පොලිස් හදිසි ඇමතුම්

පොදු ප්‍රවාහන සේවයකදී එවැනි දෙයක් සිදු වන්නේ නම් ඔබට පහත අංක ඇමතීමේ හැකියාව ද පවතියි.

1955 – ජාතික ගමනාගමන කොමිෂන් සභාව

1958 – ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය

1971 – ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව

(උපුටා ගැනීම – බීබීසී සිංහල )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here