ඔස්ට්‍රේලියානු දඟ පන්දු යවන තාරකාවක වන අලානා කිං (Alana King) ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කාන්තා තරග බිමේ අංක 10 පිතිකාරිනියක ලෙස අර්ධ ශතකයක් ලබා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත්වෙමින් ඉතිහාස පොත්වලට ඇගේ නම ඊයේ (8) ඇතුළත් කර ගත්තා.
29 හැවිරිදි මේ ක්‍රීඩිකාව දැන් පැවැත්වෙන කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බදාදා පැවති තරගයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අංක 10 පිතිකාරිනිය ලෙස කඩුල්ලට පිවිස පන්දු 49කින් නොදැවී ලකුණු 51ක් රැස් කිරීමට සමත් වුනා.
කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ප්‍රථම වතාවට ලකුණු 50 ට පිවිසීම සඳහා අලානා ට පන්දු 48ක් අවශ්‍ය වුනා. ඇය ඇගේ අර්ධ ශතකය සම්පූර්ණ කළේ පාකිස්තාන නායිකා ෆාතිමා සානා එවූ ඔස්ට්‍රේලියානු ඉනිමේ 50 වැනි ඔ්වරයේ දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමින්.
අලානා කිං ට පෙර, කාන්තා එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ අංක 10 පිතිකාරිනියකගේ වැඩිම ලකුණු වාර්තාව ලෙස සටහන්ව තිබුනේ දකුණු අප්‍රිකාවේ යුලාන්ඩි වැන් ඩ මර්ව් වසර 2000 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව ට එරෙහිව ක්‍රයිස්ට්චර්ච් හිදී නොවැම්බර් 30 වැනි දින නොදැවී ලබා ගත් ලකුණු 42.

කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් අංක 10 පිතිකාරිනියන් වාර්තා කළ වැඩිම ලකුණු
අලානා කිං (ඔස්ට්‍රේලියාව) – නොදැවී 51 පාකිස්තානය ට එරෙහිව
යුලාන්ඩි වැන් ඩ මර්ව් (දකුණු අප්‍රිකාව) – නොදැවී 42 ඉන්දියාව ට එරෙහිව
කිම් ගාත් (ඔස්ට්‍රේලියාව) – නොදැවී 42 දකුණු අප්‍රිකාව ට එරෙහිව
ඩයනා බේග් (පාකිස්තානය) – නොදැවී 35 දකුණු අප්‍රිකාව ට එරෙහිව
නොම්වෙලෝ සිබන්ඩා (සිම්බාබ්වේ) – නොදැවී 33 තායිලන්තය ට එරෙහිව
අලානා පිතිකරණයේ යෙදී සිටියදී හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් එල්ල කළා. මීට අමතරව ඇය බෙත් මූනි සමග එක්ව නව වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 97කින් ලකුණු 106ක සබඳතාවක් ද ගොඩනැගුවා. පන්දු 114කට මුහුණ දුන් මූනි ලකුණු 109ක් රැස් කළා.

කිං සහ මූනිගේ ලකුණු 106 සබඳතාව ද ඔවුන්ගේ නම් වාර්තා පොත්වලට ඇතුළත් කිරීමට උපකාරී වුනා. මේ දෙදෙන කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග පිටියේ නව වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100කට වැඩියෙන් එක් කළ ලොව පළමු පිතිකාරිනී යුගලය බවට පත්වුනා.
මෙහි මීට පෙර තිබූ වාර්තාව හිමි කරගෙන සිටියේ ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලේ ගාඩ්නර් සහ කිම් ගාත්. 2024 වසරේ පෙබරවාරි 7 වැනි දින උතුරු සිඩ්නි හි පැවති ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර තරගයේදී මේ දෙදෙන ලකුණු 77ක් රැස් කළා.
කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් 9 වැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම සබඳතා
බෙත් මූනි සහ අලානා කිං (ඔස්ට්‍රේලියාව) – 106 පාකිස්තානය ට එරෙහිව
ඈෂ්ලේ ගාඩ්නර් සහ කිම් ගාත් (ඔස්ට්‍රේලියාව) – 77 දකුණු අප්‍රිකාව ට එරෙහිව
ලින්සේ ආස්කිව් සහ ඉසා ගුහා (එංගලන්තය) – 73 නවසිලන්තය ට එරෙහිව
රාධා යාදව් හා සායිමා තකූර් (ඉන්දියාව) – 70 නවසිලන්තය ට එරෙහිව
ජොසෆීන් කෝමෝ සහ නොම්වෙලෝ සිබන්ඩා (සිම්බාබ්වේ) – 69 අයර්ලන්තය ට එරෙහිව

(සටහන : වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]