ප්‍රතිවාදී ක්‍රීඩිකාව ළඟ ගඳයි කීම ගැන එංගලන්ත ටෙනිස් ක්‍රීඩිකාව සමාව ඉල්ලයි

0
98

ප්‍රතිවාදී ක්‍රීඩිකාවගෙන් අප්‍රසන්න ගඳක් නිකුත් වන නිසා ඇයට දුර්ගන්ධ නාශකයක් භාවිතා කරන ලෙස දැනුම් දෙන්නැයි තරගයක් අතරතුර

තරග විනිසුරු ට කියා සිටි බ්‍රිතාන්‍ය ටෙනිස් ක්‍රීඩිකා හැරිඅට් ඩාට් (Harriet Dart) ඒ පිළිබඳව සමාව ඉල්ලා තිබෙනවා.

Rouen විවෘත තරගාවලියේ අඟහරුවාදා පැවති පළමු වටයේදී ඩාට් ලකුණු 6-0, 6-3කින් ප්‍රංශයේ ලොවෙස් බොයිසන් (Lois Boisson) ට පරාජය වුනා.

තරගය අතරතුර ඇය තරග විනිසුරුට මෙසේ කියනු මයික්රොෆෝනයක් හසුකර ගෙන තිබෙනවා:

“ඇයට (බොයිසන්) දුර්ගන්ධ නාශකයක් පාවිච්චි කරන්න කියලා ඔබට කියන්න පුළුවන්ද?…මොකද, එයා ළඟ හරි ගඳයි.”

‌එම වීඩියෝ පටය සමාජ මාධ්‍යයේ පැතිර යාමෙන් පසුව, ඩාට් සමාව ඉල්ලා ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ටුවක් තබමින්, “තරගයේ උණුසුම් අවස්ථාවක මම කියපු ඒ දෙය ගැන මම ඇත්තටම කනගාටු වෙනවා” යැයි කියා සිටියා.

“මට ක්‍රීඩා කරන්න ඕන ඒ අන්දමට නෙවෙයි. මම ඒ ගැන සම්පූර්ණ වගකීම බාරගන්නවා” යනුවෙන් ඇය සටහන් කළා.

“ලොවෙස් ගැනත් ඇය අද තරග කළ ආකාරය ගැනත් මගේ ලොකු ගෞරවයක් තියෙනවා. මම මෙයින් ඉගෙන ගෙන ඉදිරියට යන්නම්.”

ආබාධයන්ට ලක්වීමෙන් පසුව ශ්‍රේණිගත කිරීම්වල 303 ස්ථානයේ සිට නැවත ඉහළ නැගීමට උත්සාහ කරමින් සිටින බොයිසන් මෙසේ පෙනී සිටියේ ලෝක කාන්තා සංගමයේ (WTA) මෙවර තරග වාරයේ ඇගේ පළමු තරගයට.

සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දැක්වූයේ සන්සුන් ලීලාවෙන්.

Dove ලාංජනයේ දුර්ගන්ධ නාශකයක් (deodorant) ටෙනිස් පිටියේ සිටින ඇගේ අතට උඩින් දිස්වන ලෙස සංස්කරණය කරන ලද ඡායාරූපයක් ‘ඉන්ස්ටග්‍රෑම්’ හි පෝස්ට් කළ ලොවෙස් බොයිසන්, එම දුර්ගන්ධ නාශක නිපදවන ආයතනය ‘ටැග්’ කරමින් ඔවුන්ට සහයෝගීත්වයක් අවශ්‍යව තිබෙන බව පැහැදිලි යැයි සටහන් කළා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
[email protected]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here