ඔබේ සිරුරේ ජලය වැඩි ද? හෝ විජලනයෙන් පෙළෙනවා ද? හඳුනාගත හැකි ලක්ෂණ මෙන්න

    0
    50

    ජීවිතයට ජලය අත්‍යවශ්‍ය වේ. බොහෝ ගෝලීය මාර්ගෝපදේශ මගින් කාන්තාවන් සඳහා දිනකට ජලය ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා දිනකට ජලය ලීටර් 2.5 ක් පමණ පානය කිරීමට නිර්දේශ කරයි.

    එහෙත්, විද්‍යාඥයින් පවසන්නේ අපගේ ජල අවශ්‍යතා සාධක කිහිපයක් මත රඳා පවතින බව ය.

    ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම විජලනය වීමට හේතු විය හැකි නමුත් නියමිත ප්‍රමාණය ඉක්මවා පානය කිරීම ද මාරාන්තික විය හැකි ය.

    අපගේ ශරීර බරෙන් 60%ක් පමණ ජලයෙන් සමන්විත වේ. එය අපගේ සෛල, අවයව, රුධිර නාල සහ අපගේ ශරීරයේ විවිධ නාලවල පවතී.

    “අපි ප්‍රෝටීන්, විටමින්, කාබෝහයිඩ්‍රේට් සහ තන්තු අඩංගු ආහාර ගැන අවධානය යොමු කරනවා. ඒත්, වතුර අපේ ජීවිතයේ වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් කියන දේ අපි හිතන්නේ නැහැ.”

    සෑම ශාරීරික ක්‍රියාවලියකදී ම පාහේ ජලය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. හාවර්ඩ් වෛද්‍ය විද්‍යාලයට අනුව, එහි ප්‍රධාන භූමිකාවන් කිහිපයක් මෙසේ ය:

    ඔබට කොපමණ ජලය අවශ්‍ය ද යන්න වයස, ස්ත්‍රී පුරුෂ භාවය, දේශගුණය සහ ශාරීරික ක්‍රියාකාරකම් වැනි විවිධ සාධක මත රඳා පවතී.

    ශරීරයට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් අහිමි වූ විට, විජලනය සිදුවිය හැකි ය. මෙය බරපතළ සෞඛ්‍ය ගැටලු රැසකට මග විවර කරයි.

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන පරිදි, බරපතළ අවස්ථාවලදී, විජලන ව්‍යාකූලත්වය, වේගවත් හෘද ස්පන්දන වැඩිවීම සහ අවයව අක්‍රිය වීමට පවා හේතු විය හැක.

    ඔව් – එහි ප්‍රතිඵල බරපතළ විය හැකි ය.

    2018 දී, ජොහානා පෙරී ඇගේ දියණිය සහ බෑණා සමග ලන්ඩන් මැරතන් තරගයට සහභාගී වීම සඳහා පුහුණුවීම්වල නිරත වී සිටියා ය. එය ඉතා උණුසුම් දවසක් වූ අතර, ස්වේච්ඡා සේවකයන් ධාවකයන්ට ලබා දුන් ජලය විශාල ප්‍රමාණයක් ඇය පානය කරමින් සිටියා ය.

    “මට මතක තියෙන අවසාන දේ අර්ධ මැරතන් තරගයේ සලකුණ විතර යි,” ඇය බීබීසීයේ The Food Chain වැඩසටහනට පැවසුවා ය.

    දැඩි සත්කාර ඒකකයේ දින තුනක කාලයක් ගත කිරීමෙන් පසුව ජොහානා අවදි විය. ඇගේ සැමියා විසින් පටිගත කරන ලද වීඩියෝවක ඇය තරගයේ අවසන් රේඛාව පසු කරන ආකාරය පෙන්නුම් කළ ද ඇයට ඒ කිසිවක් මතකයේ නොතිබිණි.

    “මගේ හස්බන්ඩ් එක්ක මිතුරන් කිහිප දෙනෙක් එතන හිටියා. ඔවුන් මට අත වනමින් කතා කළා – මගේ ශරීරය වෙව්ලුවා. අපි ගෙදර ආවට පස්සේ මට ගොඩක් අසනීප වෙලා පස්සේ සිහි නැති වුණා,” ඇය ආවර්ජණය කළා ය.

    “මම ගොඩක් වතුර බිව්වා, ඒකෙන් මගේ ශරීරය නිසි ලෙස ක්‍රියා කරන්න අවශ්‍ය සියලු ම ලවණ සහ පෝෂ්‍ය පදාර්ථ ඉවත් වුණා.”

    ජොහානාගේ සිද්ධියෙන් ඉස්මතු වන්නේ ශරීරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජලය ප්‍රමාණයක් ගත් විට ශරීරයට සිදුවන දෙය යි.

    අප ආහාරයට ගන්නා බොහෝ ආහාරවල ජලය බහුල ලෙස අඩංගු වේ. උදාහරණයක් ලෙස කොමඩුවල 92% ක් පමණ ජලය අඩංගු වේ.

    නිරෝගීව සිටීමට නම්, දිනකට වතුර කෝප්ප හයේ සිට අට දක්වා ප්‍රමාණයක් පානය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීහු නිර්දේශ කරති.

    යුරෝපීය ආහාර ආරක්ෂණ අධිකාරිය කාන්තාවන් සඳහා ලීටර් දෙකක් සහ පිරිමින් සඳහා ලීටර් දෙක හමාරක් නිර්දේශ කරයි. පාන වර්ග පමණක් නොව, ඊට ආහාර ඇතුළු සියලු ම ප්‍රභවයන්ගෙන් ලැබෙන ජලය ඇතුළත් වේ.

    නමුත් එම නිර්දේශ සෑම පුද්ගලයෙකුට ම සුදුසු නොවිය හැකි ය.

    ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝන් ස්පීක්මන්, රටවල් 23ක පුද්ගලයින් 5,000කට අධික සංඛ්‍යාවකගේ ජල පරිභෝජනය අධ්‍යයනය කළ ගෝලීය අධ්‍යයනයකට සහභාගී විය.

    “වයස අවුරුදු විස්සත් හැටත් අතර පිරිමින්ට දිනකට ලීටර් 1.8ක් පමණ අවශ්‍ය යි. එම වයස් කාණ්ඩයේ ම කාන්තාවන්ට ලීටර් 1.5 සිට 1.6 දක්වා අවශ්‍ය වෙනවා. වයස අවුරුදු 85ක් පමණ වුණා ම, ඔබට අවශ්‍ය වෙන්නේ දවසකට වතුර ලීටරයක් පමණ යි,” මහාචාර්ය ස්පීක්මන් පැහැදිලි කරයි.

    පුද්ගලයෙකුට කොපමණ ජලය අවශ්‍ය ද යන්න, ශරීර බර, ශාරීරික ක්‍රියාකාරකම්, වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ පරිසරය වැනි සාධක මත රඳා පවතී.

    “ඔබට කොච්චර ජලය ප්‍රමාණයක් අවශ්‍ය ද කියන එකට බලපාන ප්‍රධාන සාධකය ඔබේ සිරුර කොතරම් විශාල ද කියන එක,” ඔහු තවදුරටත් පවසයි.

    “ඔබ උණුසුම් හා තෙතමනය සහිත ස්ථානයක ජීවත් වෙනව නම්, ඔබේ ජල අවශ්‍යතාව සීතල හා වියළි ස්ථානයක ජීවත් වන කෙනෙකුට වඩා සැලකිය යුතු ලෙස වැඩි වෙන්න පුළුවන්.”

    ඔබට වමනය හෝ පාචනය ඇත්නම්, ඔබ වැඩිපුර ජලය පානය කළ යුතු ය.

    බීබීසී පුවත් සේවයේ The Food Chain වැඩසටහන පාදක කරගෙන මෙම ලිපිය සකස් කෙරිණි.

    උපුටා ගැනීම – BBC සිංහල සේවය

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here