මුල් කාලේ රඟපානවට රුපියලක්වත් ගෙව්වේ නැහැ- රෙබෙකා දිල්රුක්ෂි

    0
    33

    ඇත්තටම මේ දිනවල ටෙලි නාට්‍ය කීපයක් විකාශය වෙනවා. ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන බැද්දේගම ටෙලි නාට්‍යයේ චරිතයට ප්‍රේක්ෂකයෝ හුඟාක් කැමැතියි. ඒ වගේම ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන සිත් අතර හිස්තැන් සහ සංවරයේ නාට්‍යයේ එකිනෙකට වෙනස් චරිත සඳහාත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පසුගියදා අවසන් වූ පට්ටිගෙදර ටෙලි නාට්‍යය මගේ රංගනයේ සුවිශේෂී හැරවුමක් වුණා. ඒ වෙනුවෙන් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලත් අඩුවක් නැහැ.

    ලංකාවෙ පළවෙනි වතාවට එකම රංගන ශිල්පිනිය එකම ප්‍රේම් එකක චරිත තුනක් රඟදක්වපු භාග්‍ය මට පට්ටි ගෙදර හරහා ලැබුණා. මේ චරිත ත්‍රිත්වය ගැන සඳහන් වුන පට්ටි ගෙදර පිටපත මුලින්ම මම කියවනකොට බය වුණා. ඒකට හේතුව වුණේ එකම ටෙලිනාට්‍ය තුළ චරිත තුනක් රඟපානකොට නළුවට හානියක් වෙන්න පුළුවන් නිසා. චරිත තුනම වැඩියෙන් රඟපෑවත් අවුල් වෙනවා. අඩුවෙන් රඟපෑවත් අවුල් වෙනවා. ඒ නිසා මම පට්ටි ගෙදර අධ්‍යක්ෂ අනුෂ්ක එක්ක කතා ⁣කරගෙන චරිත තුන වෙනවෙනම හදාගෙන සමබරව ගොඩනගා ගත්තා. මේ තාක් රඟපාපු ටෙලි නාට්‍යවලට වඩා පට්ටි ගෙදර රංගනය මට කොහෙන්වත් ගන්න බැරිවුන මාර වටින අත්දැකීමක් වුණා.

    ඔව්. ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන සංවරය ටෙලිනාට්‍යයේ මම රඟපාන්නෙ spa girl කෙනෙක්ගෙ චරිතය. අපේ ලාංකීය සමාජය තුළ ගැහැනු දුප්පත්කමෙන් සහ විවිධ ප්‍රශ්නවලින් පීඩාවට පත්වුනහම ජීවිතය ගොඩදාගන්න හිතාගෙන පිවිසෙන්නෙ මුදලට ලිංගික ශ්‍රමය අලෙවි කරන spa කර්මාන්තයට. ලාංකීය සමාජයේ එක් පැතිකඩක් මේ විදිහට රංගනයෙන් ඉදිරිපත් කරන්න ලැබීම ගැන මම සතුටු⁣ වෙනවා.

    සංවරය ටෙලි නාට්‍යයේ රඟපාන spa girlගේ චරිතය විතරක් නෙමෙයි රඟපාන හැම චරිතයකදිම මට අවදානමක් දැනෙනවා. ගොඩක් දුරට නිර්මාණවලදි අපි රඟපාන්නෙ සමාජයේ ජීවත්වෙන චරිත හෝ සමාජයේ නැති මනඃකල්පිත චරිත. ඉතින් මේ චරිතවලට අනන්‍ය හැඩයක් ස්වභාවයක් තියනවා. සමහර වෙලාවට මේ චරිත සමාජය පිළිගන්නෙ නැති අඩු සැලකිලි ලැබෙන චරිත වෙන්නත් පුළුවන්. ඉතින් මගේ අනන්‍යතාවයෙන් බැහැරවෙලා වෙනත් කෙනකුගේ චරිතයකින් ප්‍රේක්ෂකයො ඉස්සරහට යනවා කියන්නෙම එතන ලොකු අවදානමක් තමයි. මම නිර්මාණ ඇතුලෙ විවිධ චරිත රඟපාන වෘත්තිය රංගන ශිල්පිනියක්. මේ අවදානම දරන්න බලාපොරොත්තුවෙන් සහ සූදානමින්ම තමයි මම වෘත්තිය රංගන ශිල්පිනියක් වුණේ.

    මම රංගනය පිළිබඳව විශ්වවිද්‍යාලයක ඉ⁣ගෙනගත්තා. රඟපාන්නෙ කොහොමද කියලා මම න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව හදරාලා තියනවා. රංගනය ඉගෙනගන්නවත් සමග මම පුද්ගල සමාජ හැසිරීම සම්බන්ධව අධ්‍යයනය කරන්න පුරුදු වුණා. සමාජයේ ජීවත්වෙන පුද්ගලයො හඳුනාගෙන ඔවුන්ගේ මනෝභාවය සහ හැසිරීම වටහා ගැනීම තුළිනුයි මට ගැඹුරු රංග පරාසවලට යන්න පුළුවන්වුන හැකියාව ලැබුණෙ.

    රංගනය ගැන ඉගෙන ගත්ත පමණින්, රඟපාන්න හැකියාව තිබ්බ පමණින් එකපාර ක්ෂේත්‍රයේ ස්ථාවර තැනක් ගොඩනගා ගැනීමේ හැකියාවක් අපි කාටවත් නැහැ⁣. ක්ෂේත්‍රයේ ස්ථාවර වෙන්න නම් කාලයක් තිස්සෙ කට්ට කාගෙන අල්ලගෙන ඉන්න ඕන. මට මතකයි මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි නිර්මාණවලින් මට කිසිම ගෙවීමක් කළේ නැහැ⁣. ඒ වුණත් නිර්මාණයකට සම්බන්ධ වෙලා වැඩක් කරන්න ඕන නිසා සල්ලි ලැබෙන්නෙ නැති වුණත් වැඩ කළා. හැබැයි එහෙම අතට රුපියලක්වත් ලැබෙන්නෙ නැතුව මහන්සිවෙලා වැඩ කරපු නිසා මගේ හැකියාවන් පෙන්නන්න ලැබුණා සහ ක්ෂේත්‍රයේ ඉන්න පුද්ගලයො අඳුනගන්න පුළුවන් වුණා. රංගන ක්ෂේත්‍රය තුළ ස්ථාවර පුද්ගලයෙක් වෙන්න නම් අනිවාර්‌යෙන් කට්ට කාගෙන අල්ලගෙන ඉන්න පුරුදුවෙන්න ඕන.

    රංගන ශිල්පිනියක් විදිහට වෘත්තිය ගමන පටන්ගත්ත මොහොතේ ඉඳලා මගේ සැමියා ඇතුළු පවුලෙ අයගෙන් මට ආර්ථිකමය වශයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාලා හැමෝම කිව්වෙ මගේ හැකියාවෙන් ඉදිරියට යන්න කියලා. මගේ ගමන වෙනුවෙන් අවශ්‍ය සියලුම මූල්‍ය වියදම එයාලා දරන්නම් කියලා මාව බලාගත්තා. මූල්‍ය වියදම් දැරුවට මගේ පවුල ප්‍රකෝටිපති පවුලක් නෙමෙයි. එයාලා මහන්සිවෙලා සල්ලි හොයලයි මං වෙනුවෙන් වියදම් කෙරුවෙ. මම හිතන්නෙ මගේ සැමියා ඇතුළු පවුලෙ අය නැත්තන් ගොඩක් දුරට අද මම නිළියක් නොවෙන්න ඉඩ තිබුණා.

    සැමියා ඇතුළු පවුලෙ අය දන්නවා මම වෘත්තීය රංගන ශිල්පිනියක් කියලා සහ මම කරන චරිත මගේ පෞද්ගලික ජීවිතයට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ⁣ කියලා. ඉතින් රඟපාන චරිත සම්බන්ධයෙන් මට කිසිම බලපෑමක් පවුලෙ අය කරන්නෙ නැහැ⁣. හැම මෙහොතකදිම මගේ පවුලෙ අය මට සහයෝගය දෙනවා.

    ලංකාවෙ නිර්මාණකරණය තුළ බාල නිර්මාණ සහ ගුණාත්මක නිර්මාණ කියලා කොටස් දෙකක් තියනවා. රංගනය විතරක් වෘත්තිය කරගෙන ඉන්න මම ඇතුළුව ක්ෂේත්‍රයේ ඉන්න අනෙක් නළු නිළියන්ට ලංකාවෙ මේ තියන ආර්ථික උද්ධමනයත් එක්ක හැමදාම මාර හොඳ ගුණාත්මක නිර්මාණවලට විතරක් සම්බන්ධවෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ⁣. ඉතින් මට නිර්මාණයකින් ආරාධනාවක් ලැබුණහම මම ටිකක් කල්පනා කරලා බලනවා මේ වටපිටාව ඇතුළෙ මේ නිර්මාණය බාර ගැනීම සුදුසුද නැද්ද කියලා. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙලා මට නිර්මාණය තුළින් අත්වෙන ප්‍රගතියක් තියනවා නම් මම නිර්මාණය බාරගන්නවා.

    පුංචි තිරයේ රංග පරාසයට වැඩිය පුළුල් රංග පරාසයකින් මට සිනමාවේ රඟපාන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ප්‍රේක්ෂකයො මවිත කරන සිනමා රංගනයකට පහුගිය කාලෙ මම සම්බන්ධ වුණා. ඉදිරියෙදි මගේ ඒ රංගනය රසිකයන්ට සිනමාව හරහා දකින්න පුළුවන්.

    Aruna News Paper

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here