ශ්රී ලංකා රාජ්ය තාන්ත්රික ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, අප්රිකානු සංගමයේ (African Union) ශ්රී ලංකා නිත්ය නියෝජිතවරිය ලෙස පත් වූ ප්රථම ශ්රී ලාංකික කාන්තාව බවට නිර්මලා පරණවිතාන පත්ව තිබේ.
ඉතියෝපියාවේ අඩිස් අබාබා නුවර පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, ඇය විසින් සිය නිල පත්වීම් ලිපිය (Letters of Credence) අප්රිකානු සංගම් කොමිෂන් සභාවේ සභාපති මහමුද් අලි යුසුෆ් (Mahmoud Ali Youssouf) මහතා වෙත නිල වශයෙන් භාරදුන් බවයි.
කලාප දෙකක් අතර නව සබඳතා මාවතක්
මෙම හමුවේදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා “දකුණු-දකුණු සහයෝගීතාව” (South–South cooperation) පදනම් කරගත් විශේෂ වැඩපිළිවෙළක් යෝජනා විය. එහිදී තානාපති පරණවිතාන විසින් ඉදිරිපත් කරන ලද අවබෝධතා ගිවිසුම (MoU) මඟින් කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, ඩිජිටල්කරණය, තරුණ බලගැන්වීම්, කාලගුණික අභියෝග හා නිල් ආර්ථිකය (Blue Economy) වැනි ක්ෂේත්ර ගණනාවක එක්ව කටයුතු කිරීමට එකඟතාව පළ විය.
ජාත්යන්තර තලයේ බැබළෙන ශ්රී ලාංකේය පෞරුෂය
ජාත්යන්තර නීතිය සහ ආරක්ෂක අධ්යයනය පිළිබඳ ප්රවීණ රාජ්ය තාන්ත්රිකවරියක මෙන්ම විද්වතෙකු වන නිර්මලා පරණවිතාන, 2024 වසරේදී හේග් ජාත්යන්තර නීති අකැඩමියේ එක්සත් ජාතීන්ගේ නීති සාමාජිකාවක (United Nations Law Fellow) ලෙස ද තේරී පත් වූවාය. මීට පෙර නිව්යෝර්ක්, නවදෙල්ලිය, මියන්මාරය, ටෝකියෝ සහ ස්වීඩනය යන රටවල ශ්රී ලංකා තානාපති කාර්යාල නියෝජනය කර ඇති ඇය, ඩෙල්හි විශ්වවිද්යාලයේ සහ ඕස්ට්රේලියානු ජාතික විශ්වවිද්යාලයේ (ANU) උපාධිධාරිනියක්ද වන්නීය.
ශ්රී ලංකාවේ තාක්ෂණික හා කෘෂිකාර්මික දැනුම අප්රිකානු කලාපය සමඟ බෙදාගනිමින් දෙපාර්ශ්වයේම සංවර්ධන අරමුණු ඉටුකර ගැනීමට ඇයගේ නායකත්වය යටතේ ඉදිරියට කටයුතු කිරීමට නියමිතයි.
සටහන | කල්පනී ෂමල්කා
මූලාශ්රය Newswire ෆේස්බුක් පිටුව




