Ugly duckling යැයි පරිභව ලබමින් පසුකාලීනව සිනමා පුරාවෘත්තයක් බවට පත් වූ රේඛා

    0
    2

    1954 ඔක්තෝබර් 10 වැනි දින චෙන්නායි හිදී රේඛා එසේත් නැතිනම් භානුරේඛා ගනේෂන් උපත ලබන්නීය. ඇගේ පියා ද්‍රවිඩ සිනමාවේ දැවැන්තයෙකු වූ ජෙමිනි ගනේෂන් වන අතර, මව තෙළිඟු සිනමාවේ ජනප්‍රිය නිළියක වූ පුෂ්පාවලී ය. සහෝදර සහෝදරියන් නව දෙනෙකුගෙන් යුත් විශාල පවුලක ඇය හැදී වැඩුණු ඇගේ එක් සොහොයුරියක් වන වෛද්‍ය කමලා සෙල්වරාජ් මෙන්ම, සැන් ෆ්‍රැන්සිස්කෝ හි වෙසෙන රාධාගේ පුත් නවීඩ් ද බොලිවුඩ් සිනමාවට පිවිසීමට සූදානමින් සිටින තරුණයෙකි.

    ස්වකීය දෙමාපියන් නීත්‍යානුකූලව විවාහ වී නොසිටි බැවින් පියාගෙන් ලැබිය යුතු පිළිගැනීම ඇයට අහිමි ව ගියේය. පවුලේ ඇති වූ දැඩි ආර්ථික අර්බුද නිසා ඇගේ සිහිනයක් වූ ගුවන් සේවිකාවක් වීමේ අදහස අතහැරී ගියේය. වයස අවුරුදු 13 දී පාසලෙන් ඉවත් වීමට සිදු වූ ඇයට, පවුල නඩත්තු කිරීම සඳහා මවගේ බලකිරීම මත සිනමාවට පිවිසීමට සිදු වන අතර 1966 දී ‘Rangula Ratnam’ තෙළිඟු චිත්‍රපටයේ තම මව සමඟ දැරියක සමයේදීම රඟපෑ ඇය, පසුව ‘Amma Kosam’ සහ කන්නඩ චිත්‍රපටයක් වූ ‘Goadalli CID 999’ හිද පෙනී සිටියාය. 1970 දී ‘Sawan Bhadon’ හරහා ‘රේඛා’ නමින් ඇය බොලිවුඩයට පා තබන්නීය.

    මුල් යුගයේදී ඇය මුහුණ දුන් අසීරුතා සුළුපටු නම් නොවේ. හින්දි බස කතා කිරීමට නොහැකි වීම, අඳුරු සමේ පැහැය සහ ශරීර හැඩය නිසා උතුරු ඉන්දීය සිනමාව ඇයව කොන් කළේය. ඇතැමුන් ඇයව “කැත තාරා පැටියා” ලෙස හඳුන්වමින් අවතක්සේරුවට ලක් කළහ. එපමණක් නොව, ‘Anjana Safar’ චිත්‍රපටයේදී ඇයට නොදන්වා රූගත කළ සිපගැනීමේ දර්ශනයක් නිසා ඇය දැඩි මානසික කම්පනයකටද මුහුණ දුන්නාය.

    නමුත් ඇය පසුබට වූයේ නැත. යෝගා අභ්‍යාස, ආහාර පාලනය, නර්තනය සහ හින්දි භාෂාව මනාව ප්‍රගුණ කළ ඇය, මුළුමනින්ම ස්වයං-පරිවර්තනයකට ලක් වූවාය. එහි ප්‍රතිඵලයක් ලෙස බොලිවුඩයම මවිතයට පත්කරමින් විලාසිතා පෙරළියක් ඇති කරමින්ම රේඛා නැවත කරලියට පැමිණියාය.

    චිත්‍රපට 180කට අධික සංඛ්‍යාවකට දායක වූ ඇය, Nagin, Muqaddar Ka Sikandar, Mr. Natwarlal, Khubsoorat, Umrao Jaan සහ Khoon Bhari Maang වැනි බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ චිත්‍රපට රැසක සාර්ථකත්වයේ නියමුවරියද වූවාය. 1981 දී ‘Umrao Jaan’ හි ඇය පණපෙවූ ගණිකාවකගේ චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි ජාතික සිනමා සම්මානය පවා ඇය දිනාගත්තාය. මීට අමතරව ෆිල්ම්ෆෙයාර් සම්මාන තුනක් හිමිකරගත් ඇය, සිනමාවේද දස්කම් දක්වමින් පසුකාලීනව Krrish (2006) වැනි චිත්‍රපටවල පරිණත චරිතවලින්ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තාය. 2010 දී ඉන්දීය රජයෙන් පද්ම ශ්‍රී සම්මානයෙන්ද, 2011 දී Rediff ආයතනයෙන් ඉන්දියාවේ 9 වැනි විශිෂ්ටතම නිළිය ලෙසද ඇය පිදුම් ලැබුවාය.

    සිනමාවට පණපෙවූවද ඇයගේ පෞද්ගලික ජීවිතය සිනමා පටයකටත් වඩා හැඟීම්බර යැයි කීම අතිශයෝක්තියකුත් නොවන්නේය. අමිතාබ් බච්චන් සමඟ වූ ආදර සබඳතාව නොදන්නා අයෙකු නැති තරම්ය . පසුව එය බිඳී ගිය අතර 2004 වසරේ දී විනෝද් මෙහ්රා සමඟ රහසිගත විවාහයක් ගැන කටකතා පැතිරෙද්දී ඇය එය ප්‍රතික්ෂේප කළාය. ඇය ඔහුව හැඳින්වූයේ සුභපතන්නෙකු ලෙස පමණි. 1990 දී ව්‍යාපාරික මුකේෂ් අගර්වාල් සමඟ කළ විවාහය මාස 7කින් අවසන් වූයේ ඔහු සියදිවි නසාගැනීමෙනි. ඉන්පසු සමාජය ඇයව “කළු වැන්දඹුව” ලෙස හඳුන්වමින් දැඩි දෝෂාරෝපණය කළද, ඇය යළි කිසි දිනක විවාහ වූයේ නැත. අද වන විට මුම්බායි හි බාන්ද්‍රා හි පිහිටි බංගලාවේ, තම වසර 30කට වැඩි ලේකම්වරිය වන ෆර්සානා සහ සුරතලුන් සමඟ ඇය නිහඬ දිවියක් ගත කරයි. අන්තර්ජාලයේ සැරිසැරීමට, පැරණි ඡායාරූප එකතු කිරීමට, යෝගා කිරීමට මෙන්ම විකට කතා කියවීමට ප්‍රිය කරන අතර ඇය මස්මාංශ අනුභවයෙන් වැළකෙන්නියකි.

    අදටත් උත්සවවලට සහභාගි වන විට නළල මැද තබන සිංදූර් සහ රන්වන් කන්ජීවරම් සාරිය ඇගේ අතීත මතක සටහන්වල ඡායාවන්දෝයි සමාජ මතයක් පවතින්නේය. වේදනාවත්, අභියෝගත්, තනිකමත් සිය අභිමානයේ සැබෑම ආභරණ කරගත් රේඛා වනාහි සැබැවින්ම ඉන්දීය සිනමාවට පෑයූ ස්වර්ණමය රේඛාවක් ම වන්නේය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here